නවීන පහසුකම් සහිත නව රෝහලක් හම්බන්තොට ඉදි කිරීමට පියවර

නවීන පහසුකම් සහිත නව රෝහලක් හම්බන්තොට ඉදි කිරීමට පියවර

නවීන වෛද්‍ය උපකරණවලින් යුත් ඇඳන් 850කින් සමන්විත මහ රෝහලක් හම්බන්තොට ඉදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනියි.

රුපියල් කෝටි 700ක වියදමින් මේ රෝහල ඉදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවත් නෙදර්ලන්ත ආධාර ඇතිව මෙය ඉදි කිරීමට කටයුතු යොදා ඇති බවත් කතානායක චමල් රාජපක්ෂ මහතා පැවැසුවේය.

නව මහ රෝහල් සංකීර්ණය තුළ බාහිර රෝගී අංශය, හදිසි ප්‍රතිකාර සේවා, සායන සේවා, ශල්‍යාගාර, වාට්ටු, දැඩි සත්කාර ඒකක, වෛද්‍ය රසායනාගාර පහසුකම්, අධිකරණ වෛද්‍ය ඒකක, ආපනශාලා, සායනික අපද්‍රව්‍ය අපහරණ පද්ධතිය, ලේ බැංකුව, ගිලන්රථ සේවා මධ්‍යම ජීවානුහරණ ඒකක, කාර්ය මණ්ඩල සඳහා නේවාසික පහසුකම්, ඔසුසල, ගබඩා පහසුකම් යනාදියෙන් සමන්විත වේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි පළාත් රෝහල්වල අඩුපාඩු සොයා බලා ඒවා සම්පූර්ණ කරන ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා දුන් උපදෙස්වලට අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේ‍ෂඥ වෛද්‍ය පාලිත මහීපාල, වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ලාල් පනාපිටිය, වැඩිහිටි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහත්වරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් නිරීක්ෂණ චාරිකාවක පෙරේදා (28) නිරත වූහ.

හම්බන්තොට මහ රෝහල, තිස්සමහාරාම මූලික රෝහල, බෙලිඅත්ත දිස්‍ත්‍රික් රෝහල, තංගල්ල මූලික රෝහල, වීරකැටිය රෝහල යනාදී රෝහල් කිහිපයක අඩුපාඩු සම්පූර්ණ කිරීමට ‍මේ චාරිකාවේදී හැකි වී ති‍බේ.

මේ රෝහල් සඳහා අවශ්‍ය වෛද්‍යවරු, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල ද, වෛද්‍ය උපකරණ ද, ගොඩනැඟිලි අලුත්වැඩියාව සඳහා වන මූල්‍ය ප්‍රතිපාදන ද ලබාදීමට තීරණය කර ඇත.

හම්බන්තොට මහ රෝහලෙහි ඉදි කිරීම් කටයුතු මැයි මාසයේදී ආරම්භ කරන බව කතානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.

මහරෝහල් දෙකක් ඉදි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නෙදර්ලන්ත රජය මඟින් ලබාදී ඇති අතර නුවරඑළිය මහරෝහලට ආසන්නයෙන් එක් රෝහලක් ඉදිවෙමින් පවතින අතර අනෙක හම්බන්තොට මහ රෝහල වේ. ඒ සඳහා නෙදර්ලන්තයේ කෝපරේටිව් සෙන්ට්‍රාලේ රයිෆිෂන් බෙරෙන්ලීන් බැංකුව මඟින් මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා