මාස දෙකකදී කලවානේ ගෙවල් 1000කට විදුලිය

මාස දෙකකදී කලවානේ ගෙවල් 1000කට විදුලිය

කලවාන මැතිවරණ කොට්ඨාසයේ අතිදුෂ්කර ගම්මානවලට මාස දෙකක දී නිවාස 1000කට විදුලිය ලබාදීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.

මහින්ද චින්තන ඉදිරි දැක්ම ප‍්‍රකාරව ‘සැමට සැමවිට විදුලිය’ යන්න 2014 වසරේදී යථාර්ථයක් බවට පත්කිරීමේ අභිලාශයෙන් යුතුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මගින් ක‍්‍රියාත්මක කෙරෙන ‘විදුලමු ලංකා ව්‍යාපෘතිය’ යටතේ කලවාන මැතිවරණ කොට්ඨාසයේ මෙතෙක් විදුලිය පහසුකම් නොලැබූ අතිදුෂ්කර ගම්මාන රැසක් ආවරණය වන පරිදි විදුලිබල පහසුකම් ලබාදීමට විදුලිබල හා බලශක්ති ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පියවර ගෙන තිබේ.

විවිධ හේතුන් මත කලවාන මැතිවරණ කොට්ඨාසයේ මෙතෙක් විදුලිය පහසුකම් නොලැබූ අතිදුෂ්කර ගම්මානවල නිවාස 1000කට පමණ මෙමගින් සෙත සැලසේ. මේ යටතේ කලවාන මැතිවරණ කොට්ඨාසයේ විදුලි යෝජනාක‍්‍රම 21ක් සහ විදුලි දිගු 150ක් නිම කිරීමට නියමිතව ඇත.

මාස 02ක් ඇතුළත මෙම විදුලි යෝජනා ක‍්‍රම සහ විදුලි දිගු නිමකර ජනතාවට විදුලිය පහසුකම් ලබාදීමට විෂයභාර ඇමැතිවරිය විසින් අදාළ අංශ දැනුවත් කරනු ලැබ තිබේ. ඊට අමතරව මේ වසරේ දෙසැම්බර් මස අවසන් වීමට ප‍්‍රථම කලවාන මැතිවරණ කොට්ඨාසයේ විදුලිය පහසුකම් නොලැබූ කොටස් පිළිබඳ සමීක්ෂණයක් පවත්වා එම පිරිස් වෙනුවෙන් විදුලිය ලබාදීම වෙනුවෙන් මැනුම් කටයුතු සිදුකර වැයවන මුදල් පිළිබඳ ඇස්තමේන්තු ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යවරිය ලංවිම නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ඒ අනුව වසර 2014 වන විට සමස්ත දිවයින විදුලියෙන් ඒකාලෝක කිරීමේ මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව යමින් කලවාන මැතිවරණ කොට්ඨාසය ඉතාම මෑතකදී 100%ක් විදුලියනය කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා