ශ්‍රී ලංකා-බංග්ලාදේශ වෙළෙඳාමේ සියයට 75ක වර්ධනයක්

ශ්‍රී ලංකා-බංග්ලාදේශ වෙළෙඳාමේ සියයට 75ක වර්ධනයක්

ශ්‍රී ලංකා-බංග්ලාදේශ ද්වීපාර්ශික වෙළෙඳාමේ සියයට 75ක වර්ධනයක් ඇතැයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය අනාවරණය කරයි.

බංග්ලාදේශ විදේශ කටයුතු ලේකම් මොහොමඩ් ශහිදුල් හා ඇමැති රිෂාඩ් බදියුදීන් මහත්වරුන් පසුගියදා හමුවූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සිදුවන ද්වීපාර්ශ්වික වෙළෙඳාමේ ඉහළ වර්ධනයක් පසුගිය වසරේදී දැකගත හැකිවු බව බංග්ලාදේශ විදේශ කටයුතු ලේකම් මොහොමඩ් ශහිදුල් හක් මහතා පවසයි.

2010 වසරේදී අමෙරිකා ඩොලර් මිලියන 48.14ක් වූ දෙරට අතර වෙළෙඳ අගය පසුගිය වසරේදී (2012 දී) අමෙරිකා ඩොලර් මිලියන 83.19ක් වු බැවින් එය සියයට 73 ක වර්ධනයක් බව පවසන බංග්ලාදේශ විදේශ කටයුතු ලේකම්වරයා එය සාධනීය වර්ධනයක් බව ද කීය.

දෙරට අතර පවතින වෙළෙඳාම තවදුරටත් වර්ධනය කර ගෙන යාමේ දී ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පවතින සාගරික හා නාවික කටයුතු තවදුරටත් පුළුල් විය යුතු බව ද හෙතෙම කීවේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා2011දී බංග්ලාදේශයේ සිදු කළ නිල සංචාරයේදී කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය, වානිජ සහයෝගිතාව යන ක්ෂේත්‍රවල ඇති කර ගත් අවබෝධතා ගිවිසුම් පිළිබඳව සිහිපත් කළ මොහොමඩ් ශහිදුල් හක් මහතා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් තම රටේ ව්‍යාපාරික ප්‍රජාවට ශ්‍රී ලංකවේ ආයෝජනය සඳහා කළ ආරාධනාව නිසා ඔවුන් ශ්‍රී ලංකවේ ආයෝජනය පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන බව ප්‍රකාශ කළේය.

කර්මාන්ත හා වානිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා කතා කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර කෘෂි භාණ්ඩ හුවමාරුවට පවතින අවස්ථා පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. එයින් දෙරටේම විවිධ කාල වකවානුවල ඇතිවන භාණ්ඩ හිඟය මගහරවා ගත හැකියි. ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් විශාල වශයෙන් ‍ඖෂධ ආනයනය කරන බැවින් ‍ඖෂධ නිෂ්පාදන සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා පැමිණෙන ලෙස ආරාධනය කරන බව කීය.

ශ්‍රී ලංකාව 2012 දී බංග්ලාදේශයට ඇ.ඩො. මිලියන 56.66ක අපනයනයක් සිදු කළ අතර බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 26.‍53ක ආනයනයක් සිදු කර තිබේ. ශ්‍රී ලංකාව බංග්ලාදේශයට සිදු කරන මුළු අපනයන ප්‍රමාණයෙන් 40% ක්ම කපු අපනයනයෙන් උපයන අතර රෙදි පිළි, කඩදාසි, කඩදාසි බෝඩ්, ප්ලාස්ටික්, කරදමුංගු, එනසාල්, සාදික්කා සෙසු අපනය න වේ . බංග්ලාදේශයේ සිට ඇඟලුම්, ‍ඖෂධ, අල, ස්වාභාවික රබර්, යකඩ හා වානේ, මෝටර් බයිසිකල් අමතර කොටස් ශ්‍රී ලංකාවට ආනයනය කෙරේ.

කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශයේ ලෙකම් අනුර සිරිවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා