ජපාන උප අගමැති හෙට දිවයිනට

ජපාන උප අගමැති හෙට දිවයිනට

දෙදින නිල සංචාරයක් සඳහා ජපානයේ උප ඇගමැති ටාරෝ ආසෝ මහතා සහ එරට පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ උප මුදල් ඇමතිනි යූකෝ ඔබුචි මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව වර්ධනය කිරීම සහ එම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ මං සොයා බැලීමේ අරමුණින් මෙම ජපාන නියෝජිත කණ්ඩායම හෙට (01) ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව මේ සංචාරය සිදුවන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මාර්තු මාසයේදී ජපානයේ සිදු කළ නිල සංචාරයේදී කළ ආරාධනයකට අනුව ජපානයේ උප ඇගමැතිවරයා සහ ජ්‍යෙෂ්ඨ උප මුදල් ඇමතිනිය ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතර ඔවුන් සමඟ ජපාන රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ද ශ්‍රී ලංකා සංචාරයට එක්වන බව ද එම කාර්යාලය සඳහන් කරයි.

මෙම රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දීර්ඝකාලීන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ නිල සාකච්ඡා පැවැත් වීමට නියමිතය.

කොළඹ වරාය සහ නැව් තටාකාංගනය පුළුල් කිරීමේ කටයුතු වෙනුවෙන් ජපානය ඇමෙරිකා ඩොලර් මිලියන 800ක ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබේ. ඊට අමතරව නැව් තටාකාංගනය සහ ජපානයේ ඔනොමිචි නැව් තටාකාංගනය ඒකාබද්ධව සේවා පහසුකම් ආරම්භ කොට වසර 20ක් සම්පූර්ණ කිරීම ද විශේෂත්වයකි.

ජපාන රජයේ නියෝජිතයන්ගේ ශ්‍රී ලංකා සංචාරයේදී දෙරට අතර පවතින සබඳතා තරකර ගැනීමේ නව මංපෙත් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙ‍රෙන බව ද ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය කියයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා