දෙදරු පියාට මන්නයකින් කොටා ඇසිඩ් ගසා ගේ ඇතුළේ මරා දමලා

දෙදරු පියාට මන්නයකින් කොටා ඇසිඩ් ගසා ගේ ඇතුළේ මරා දමලා

සැකපිට බිරිය රිමාන්ඩ්

දෙදරු පියකු ගේ ඇතුළේ නිදා සිටියදි බෙල්ලට මන්නයකින් කොටා ඇසට ඇසිඩ් වත්කර පසුව රෝහලේදී මරණයට පත්වීමේ පුවතක් මොරගහහේන පොලිසියෙන් වාර්තා වේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ හොරණ නැඟෙනහිර ඔලබොඩුවේ ආරාම පාරේ වෙන්දේසි ඉඩමක පදිංචිව සිටි මැස්ටියගේ උදය කුමාර (38) නැමැති දෙදරු පියෙකි.

මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත්තේ වෙත්තසිංහගේ සුමිත්‍රානි (38) නැමැති උදය කුමාරගේ විවාහක බිරිය බව පොලිසිය පවසයි. ඇය දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

27 වැනිදා රාත්‍රියේ 9.00ට පමණ මෙම නිවස ඇතුළේ බඩුමුට්ටු පොඩිකරන ශබ්දයක්ද ඉන්පසු කෑගසන ශබ්දයක්ද ඇසී බලන විට ගේ ඇතුළේ සාලය මැද ලේ ගලමින් සිටි උදය කුමාර දුටු බව අසල්වාසීහු පවසති. එම අවස්ථාවේදී එතන බිරිය සිටි බවත්, වහාම බරපතළ තුවාල ලත් උදය කුමාර හොරණ මූලික රෝහලට ගෙන ගිය බවත් අසල්වාසීහූ පවසති. හොරණින් දකුණු කොළඹ මහ රෝහලට යැවීමෙන් පසු උදය කුමාර නැමැති අය මරණයට පත්ව ඇත.

සිද්ධිය ගැන විස්තර කළ අසල්වැසියකු වන පී. ඒ. සිරිපාල නැමැති අය මෙසේ පැවැසීය.

27 වැනිදා රාත්‍රී 9.00 ට පමණ පහළ ගෙදරක කෑ ගසන ශබ්දයක් ඇසුණා. අපි කීපදෙනෙක් එතැනට දිව්වා. උදය කුමාර නැමැති අය එම නිවසේ සාලේ වැටී සිටියා. බෙල්ලේ බරපතළ තුවාලයකින් ලේ ගලනවා. මන්නයෙන් කොටා ඇසිඩ් වත්කළ බව තුවාලකරු බොහොම අමාරුවෙන් පැවසුවා. අපි ඉක්මනට ඔහු හොරණ රෝහලට රැගෙන ගියා. බිරිය අපත් සමඟ රෝහලට ගියේ නෑ. පසුදින දවල් දැන ගත්තා කළුබෝවිල රෝහලේදී ඔහු මියගිය බව.

මෙම නිවසේ නිතරම රාත්‍රියට කලහකාරි තත්ත්වයක් තිබෙන බව අසල්වාසීහූ පවසති. වැඩිමහල් පුතා (14) පිළියන්දල විදුහලක ඉගෙනීම ලබන අතර බාල පුතා (8) ඔලබොඩුව ශ්‍රී සුමංගල මහා විදුහලේ ඉගෙනුම ලබන බවත් අසල්වාසීහූ පවසති. සිද්ධිය වන අවස්ථාවේ දරු දෙදෙනා නිවසේ සිට නැති බවද වාර්තා වේ.

හොරණ වැඩබලන මහේස්ත්‍රාත් ඒ. ඩී. ප්‍රැන්සිස් මහතා 28 වැනිදා සවස සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදුකැර ඇත. බිරිය වන සුමිත්‍රානි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් දරුවන් දෙදෙනා පරිවාස භාරයට පමුණුවන ලෙසටත් නියෝග කැර ඇත.

පානදුර පොලිසියේ බුද්ධි අංශයෙන් (29)දා අදාළ නිවස පරීක්ෂාවට ලක් කෙළේය.

පානදුර පොලිස් අධිකාරි කඩුපිටිය සහ හොරණ සහකාර පොලිස් අධිකාරි අබේරත්න දිසානායක මහතාගේ උපදෙස් මත මොරගහහේන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පො.සැ. 28139 සිල්වා, අපරාධ අංශයේ ස්ථානාධිපති රූපරත්න, සැරයන් කුලරත්න මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති. උදය කුමාරගේ මළ සිරුර දකුණු කොළඹ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කැර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා