මෙරට නොපැවැත්වීමට ඇතැමුන් ගත් වෑයම ව්‍යර්ථ කිරීමට රජය සමත් වුණා

පොදු රද මඬුලු‍ සමුළුව

මෙරට නොපැවැත්වීමට ඇතැමුන් ගත් වෑයම ව්‍යර්ථ කිරීමට රජය සමත් වුණා

සාධාරණය ඉටුවීම සතුටක් බව මහාචාර්ය ජී.එල්. කියයි

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ රැස්වීම මේ වසරේ ‍නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ගෙන ඇති තීරණය නැවත සලකා බැලීමට ඇතැම් කොටස් විසින් සැලසුම් සහගතව හා අඛණ්ඩව නොයෙකුත් උත්සාහයන් දැරුවද එම ප්‍රයත්න ව්‍යර්ථ කිරීමට රජයට හැකිවී තිබෙන බවත් සාධාරණය ඉටුවී ති‍බීම සතුටට කරුණක් බවත් විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

පොදු රාජ්‍ය මණ්ඩලීය සාරධර්ම අනුව අවශ්‍යව ඇත්තේ බුද්ධිමත් හා පැහැදිලි උපාය මාර්ගයකට අනුව යමින් සහ රටේ නායකත්වය හා පොදු ජනතාවගේ දැඩි කැපවීම නිසා ත්‍රස්තවාදය පරදවා ජයග්‍රහණය කර ඇති රටකට සහාය ලබාදීම මිස එම රට අස්ථාවර බවට පත් කරන බලවේග ශක්තිමත් කරන කිසිදු ක්‍රියාවලියක් වක්‍ර මාර්ගයෙන් හෝ දිරිගැන්වීම නොවන බවද පිරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

පසුගිය සෙනසුරාදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන වීරකැටිය ප්‍රදේශයන්හි පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම් මාලාවක් අමතමින් ඇමතිවරයා එම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පීරිස් මහතා 'ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ගෙන ඇති මූලික පියවර පිළිබඳ සහ දැනටමත් අත්කරගෙන ඇති ජයග්‍රහණ පිළිබඳ මා පසුගිය සතියේ එක්සත් රාජධානියේ සිදු කළ එක්දින සංචාරය අතරතුරදී පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ඇමැති මට්ටමේ ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකත්වය දරන රටවල නියෝජිතයින් හට පූර්ණ වශයෙන් කරුණු පැහැදිලි කළා. මේ රටවල් ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය අවබෝධ කරගෙන තිබෙනවා.

විවිධ අභිලාෂයන් සහිත පුද්ගලයන් විසින් සිදු කරන සාවද්‍ය ප්‍රචාර මඟින් එම රටවල් නොමඟ ගොස් නොතිබීම සතුටට හේතුවක්.

වර්තමානයේ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කොට තිබෙනවා. එහෙත් තම අරමුණු අඛණ්ඩව නෙවෙනස්ව ඉටු කර ගැනීම සඳහා කටයුතු කරන ශ්‍රී ලංකාවට එරෙහිව ඇති බලවේග සතුව විශාල සම්පත් ප්‍රමාණයක් තිබුණද, මේ රටවල් නොමග නොගොස් සත්‍ය තත්ත්වය හරිහැටි අවබෝධ කරගැනීම අන් සියල්ලටම වඩා සතුටට කරුණක් බව කිව යුතුයි. මෙම බලවේගයන් සතු ඇති සම්පත් විශාල ලෙස වැඩිවී ඇති අතර වර්තමානයේ අවි ආයුධ මිලදී ගැනීම සඳහා තවදුරටත් එම අරමුදල් භාවිතා නොකරන නිසා ශ්‍රී ලංකාවට බලපෑම් සිදු කිරීමට හා ශ්‍රී ලංකාව කෙරෙහි යොදන පීඩනය වැඩි කිරීමට එම සම්පත් විශාල ලෙස වැය කළ හැකි තත්වයක් පවතින බව අප වටහා ගත යුතුයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය මට්ටමේ ක්‍රියාකාරී කණ්ඩායම සිකුරාදා ලන්ඩනයේදී පැවති සිය රැස්වීමේදී න්‍යාය පත්‍රයේ අංගයක් ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව සාකච්ඡාවට ගනු ඇතැයි ඇතැම් පාර්ශ්වයන් බලාපොරොත්තු වුණා. එහි දී ශ්‍රී ලංකාවට එරෙහිව සීමා පනවනු ඇතැයි ප්‍රකාශ කරමින් එම කණ්ඩායම් විසින් සූක්ෂ්මව මතවාදයන්ද ප්‍රකාශයට පත්කළා.

නමුත් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව න්‍යාය පත්‍රයේ අංගයක් නොවූ අතරම එවැනි ආකාරයේ කිසිවක් සිදු වූයේ නැහැ. රාජ්‍ය නායකයින් විසින් තීරණය කරන ලද අන්දමට පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව නොවැම්බරයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීම පිළිබඳව කිසිදු සැකයක් නැහැ.

සමුළුව පැවැත්වීම පිළිබඳ අදාළ කටයුතු ක්‍රමානුකූලව මේ වන විට සිදු කෙරෙමින් පවතින බව කිව යුතුයි.'

අප්‍රිකානු සහ කැරිබියානු රටවල් සමඟ ශ්‍රී ලංකාව පවත්වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ලබාදෙන දැඩි අවධානය හේතුවෙන් ශ්‍රී ලාංකික ගැටලු පිළිබඳව වඩා හොඳ අවබොධයක් එම රටවල් ලබා තිබීම නිසා වැදගත් ප්‍රතිඵල හිමිවී ඇති බැව් සඳහන් කළ අමාත්‍යවරයා ලන්ඩන්හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රැස්වීමේදී ලැබූ ජයග්‍රහණය සඳහාද මෙම තත්වය සැලකිය යුතු ලෙස බලපෑ බවද සඳහන් කළේය.

රාජ්‍ය නායක සමුළුවේ ප්‍රධාන තේමාවන්, තරුණ ව්‍යවසායකත්වය කුසලතා සංවර්ධනය සහ ග්‍රාමීය ප්‍රදේශ දක්වා තාක්ෂණය ව්‍යාප්ත කරවීම පිළිබඳව අවධානය යොමු කරනු ඇති බව සඳහන් කළ පීරිස් මහතා සමුළුවට සමගාමීව පැවැත්වෙන තවත් එක් ප්‍රධාන අංගයක් වන තරුණ සංසදය හම්බන්තොටදී පැවැත්වීම මෙම තත්ත්වය යටතේ ඉතා කාලෝචිත වනු ඇති බවද පැවසීය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රටවලටද ආරාධනා කොට ඇති ව්‍යාපාරික සංසදය වෙළෙඳ හා ආයෝජන කටයුතු සඳහා නව ජවයක් ලබාදෙනු ඇති අතර ශ්‍රී ලංකාව වෙත එල්ල වන දැඩි අවධානය තුළින් රටේ තරුණ ප්‍රජාවට ප්‍රතිලාභ රැසක් අත්වනු ඇති බවද පීරිස් මහතා පැවසීය.

ජාතියට එරෙහිව කටයුතු කරන ක්‍රියාකාරීන් හඳුනාගනිමින් ඔවුන් පිටුදැකීමටත් ඉතා අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණයේ ප්‍රතිඵල තවදුරටත් සවිමත් කිරීමටත් පොදු ජනතාව රජය සමඟ එක්විය යුතු බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා