මුද්‍රණය සඳහා

 
ක්‍රීඩා පිටි සංවර්ධනයට ෆිෆා දුන් කෝටි 50?

ක්‍රීඩා පිටි සංවර්ධනයට ෆිෆා දුන් කෝටි 50?

වගකීම විධායක සභාවට - ඇමැති පත්කළ කමිටුව

අපව නොමඟ යැව්වා - පාපන්දු විධායක සභාව

ලෝක සම්මේලනයෙන් විගණනයක්

පාපන්දු නිවහනෙහි ක්‍රියාත්මක වූ ගෝල් ව්‍යාපෘති කාර්යාලයේ කටයුතුවලට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභාව වගකිව යුතු බවට ක්‍රීඩා ඇමැති පත්කළ සිවු පුද්ගල කමිටු වාර්තාවක් මගින් පෙන්වා දෙයි.

ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගම‍ගේ මහතාට ඊයේ භාරදුන් කමිටු වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙතෙක් සිටි සභාපතිවරුන් හා ලේකම්වරුන් වගකීම්වලින් බැහැරවීම පිළිගත නොහැකි බවයි.

ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ ශාන්ත වීරසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ අයි.පී.විජේරත්න, පරිපාලන නිලධාරී සමරසේන හා නීතිඥ පණ්ඩුක කීර්තිරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් කෙරුණු විමර්ශනයක් මත මේ වාර්තාව සකස්වී තිබේ. මෙම සිවු පුද්ගල කමිටුව පසුගිය සිකුරාදා පාපන්දු සම්මේලනයට ගොස් කළ පරික්ෂණයකින් අනතුරුව අවසන් වාර්තාව සකස් කිරීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් සිදුවන ක්‍රියාකාරකම් විධායක සභාව නොදැනුවත්ව සිදුවූවායැයි පැවැසීම පිළිගත නොහැකි බව එම වාර්තාව මගින් කමිටුව පෙන්වා දී ඇත.

පාපන්දු සම්මේලනය තුල ගෝල් ව්‍යාපෘති කාර්යාල‍යක් හෝ වෙනයම් පාපන්දුවට අදාල අංශයක් හෝ තිබේ නම් එය විධායක සභාවේ අවසරය මත සිදුවිය යුත්තක් බව පෙන්වා දී ඇත. එහෙත් වත්මන් සභාපති රංජිත් රුද්‍රිගෝ මහතා ඇතුලු හිටපු නිලධාරීන් පිරිසක් පවසන්නේ ගෝල් ව්‍යාපෘති කාර්යාලයේ ගනුදෙනු පිළිබඳ අවස්ථා කිහිපයක දී විමසුව ද විධායක සභාවට එම ‍තොරතුරු ලබා නොදුන් බවයි.

'මා විධායක සභාවේ දී වරින් වර ප්‍රශ්න කළා. ඒ සෑම වෙලාවකම කිව්වේ සුනාමි ආධාරවලින් සිදුවන සංවර්ධනය, ෆිෆා ඩිවලොප්මන්ට් එකයි කොන්ත්‍රාත්කරුයි අතර වෙන ගනුදෙනුවක් බව.

අනික ඒ වෙලාවේ ලෝක පාපන්දු සම්මේලනයෙන් අහන්න අපට ශක්තියක් තිබුණේ නෑ. දැන් අපට තේරෙනවා විධායක සභාව නොමග යවා සිදුකළ ගනුදෙනුවක් බව. ඔය කියන ක්‍රීඩා අමාත්‍යංශයේ වාර්තාව අපට ලැබුණාම ඒකත් පරික්ෂණ මණ්ඩලයට යොමු කරනවා.' රුද්‍රිගෝ මහතා පැවැසීය.

පාපන්දු නිවහනේ පිහිටා තිබූ ගෝල් ව්‍යාපෘති කාර්යාලයට පරිපාලන වියදම්, නඩත්තු වියදම් ඇතුලු සියලු දෑ ලෝක පාපන්දු සම්මේලනයෙන් සැපයූ බව ද රුද්‍රිගෝ මහතා සඳහන් කළේය.

ආසියානු පාපන්දු සම්මේලනයේ ඡන්ද විමසීම මැයි 2වැනිදා සිදුවන හෙයින් ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයා අද මැලේසියාව බලා පිටත්වීමට නියමිතය. එම කටයුතු නිමාවූ වහාම සුනාමි ආධාරවලින් සිදුවූ දෑ ‍සොයන පරික්ෂණ කටයුතු වේගවත් කරන බව රුද්‍රිගෝ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ගිණුම් පරික්ෂා කිරීමට ලෝක පාපන්දු සම්මේලනයට සම්බන්ධ විගණන සමාගමක් මෙරටට පැමිණෙයි. ලෝක පාපන්දු සම්මේලනයට අනුබද්ධිත විගණන සමාගමක් වන කේ.පී.එම්.ජී.ආයතනයේ පිරිස ලබන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව දැනුම් දී තිබේ.

ස්විට්සර්ලන්තයේ පිහිටි මේ විගණන සමාගමේ නියෝජිත පිරිස සතියක පමණ කාලයක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ගිණුම් පරික්ෂා කිරීමට නියමිතය.

ලෝක පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට වසරකට අමෙරිකානු ඩොලර් මිලියන දෙලක්ෂ පනස් දහසක මුදලක් ලැබෙන අතර එම මුදල් වියදම් කර ඇති ආකාරය මෙහි දී සොයා බලයි. එමෙන්ම ආසියානු පාපන්දු සම්මේලනයෙන් ද වාර්ෂිකව ඩොලර් මිලියන ගණනක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලැබේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන ලෝක පාපන්දු සම්මේලනයේ විගණන විමසුම් නිලධාරීහූ මෙරට පාපන්දු ක්‍රීඩාංගණ කිහිපයක් පරික්ෂා කිරීමට නියමිත බව ද වාර්තා වේ. පාපන්දු සම්මේලනය ඉදිකළ ක්‍රීඩාංගණවල තත්ත්වය පරික්ෂා කිරීම මෙහි අරමුණ වේ.

මහත් ආන්දෝලනයකට පත්ව ඇති සුනාමි ආධාර රුපියල් කෝටි 50ක මුදලින් ඉදිකළ ක්‍රීඩාංගණ හා ඒවායේ ප්‍රමිතීන් පරික්ෂා කිරීම මේ සංචාරයේ දී එම විගණන නිලධාරීන් සිදු කරන්නේ ද යන්න මෙතෙක් දැනුම් දී නොමැත. සුනාමි ආධාර මුදල්වලට සිදුවූ දේ සෙවීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට හා ක්‍රීඩා අමාත්‍යංශයට ලෝක පාපන්දු සම්මේලනය දැනුම් දී ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]