ශ්‍රී ලංකා පිල එංගලන්තයට යන්න පෙර රදැල්ලේදි විශේෂ පුහුණු සැසියක්

ශ්‍රී ලංකා පිල එංගලන්තයට යන්න පෙර රදැල්ලේදි විශේෂ පුහුණු සැසියක්

එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන්ට රදැල්ලේදී විශේෂ පුහුණු සැසියක් පැවැත්වීමට යෝජනා වී තිබේ. එංගලන්තයේ ක්‍රිකට් තරග පැවැත්වෙන ප්‍රදේශවල දේශගුණයට හුරුවීම ‍උදෙසා මේ යෝජනාව වඩාත් යෝග්‍ය බව පිළිගෙන ඇත.

ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මේ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර සතියක පුහුණු සැසියක් පැවැත්වීමට ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ. රදැල්ල ක්‍රීඩා පි‍ටියේ බොහෝ කලක් ක්‍රීඩා කර නැති හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුවීම්වලට සුදුසු පරිදි තණතිලි සකස් කිරීමේ අභියෝගයක් ද මතුව ඇතැයි වාර්තා වේ.

එහෙත් එංගලන්ත සංචාරයට පෙර පුහුණු තණතිලි කිහිපයක් හෝ ප්‍රතිසංස්කරණය කරගත හැකි බවට විශ්වාසය පළ වී ඇත.

චැම්පියන් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ජූනි මුල් සතියේදී එංගලන්තයට පිටත්වන අතර එහි දී වෛද්‍යවරයකුගේ සේවය ද ලැබෙනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට වෛද්‍යවරයකුගේ සේවය ලැබෙන පළමු අවස්ථාව මෙය වන අතර ඒ සඳහා ලන්ඩනයේ සිටින වෛද්‍ය තමිඳු වෛද්‍යතිලක මහතා යොදවන බව ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

වෛද්‍යතිලක මහතා ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ද සේවය කළ අයකු වන අතර ක්‍රීඩා වෛද්‍ය විෂය පිළිබඳව හදාරා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එංගලන්ත සංචාරයට කලින් මනෝ වෛද්‍යවරයකුගේ සේවය ද ලබාදීමට සූදානම් වේ. එම මනෝ වෛද්‍යවරයා මගින් ක්‍රීඩකයන් තුල ජයග්‍රාහී මානසිකත්වයක් ගොඩනැගීම අපේක්ෂාව වී ඇත. සංචාරයට පෙර මහනුවර දී පුහුණු තරග කිහිපයක් ද පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරයි.

චැම්පියන් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙවර අවසන් වතාවට පැවැත්වෙන හෙයින් එහි ශූරතාව දිනා ගැනීමට කණ්ඩායම් කිහිපයක්ම බලාපොරොත්තු පළ කර සිටිති.

වසර 2006දී හා 2009දී අවසන් වරට පැවැති තරගාවලි දෙකේම ශූරතාව පිට පිට දෙවතාවක් හිමිකරගෙන ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටී. වසර 2002දී පැවැති තරගාවලියේ දී ශ්‍රී ලංකාව හා ඉන්දියාව සම ශූරයන් වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා