හොඳම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන කසුන්ට හා සුබෝධාට

ආධුනික බොක්සිං තරගාවලිය

හොඳම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන කසුන්ට හා සුබෝධාට

දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික බොක්සිං වළල්ලේ දොරටු විවර කෙරෙන ආධුනික බොක්සිං ශූරතාවලියේ හොඳම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවට හිමි සම්මාන දිනා ගැනීමට ලීනියා බොක්සිං සමාජයේ කසුන් බටවල හා යුද හමුදාවේ සුබෝධා හේරත් සමත්වූහ.

ආධුනික බොක්සිං සංගමයේ මෙහෙයවීමෙන් පසුගියදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගාවලියේ දී රන් පදක්කම් තුනක් දිනූ ලීනියා කණ්ඩායම පිරිමි තරග අංශයේ ශූරතාව දිනා ගත්තේය.

එහි කාන්තා තරග අංශයේ ශූරතාව හිමිවූයේ රන් පදක්කම් 4ක් අත්කර ගත් ගුවන් හමුදාවටය.

පිරිමි තරග අංශයේ දී නාවික, ගුවන් හා යුද හමුදා (රතු පිල)රන් පදක්කම් 2බැගින් ජයගත් අතර ගන්දර ක්‍රීඩා සමාජය ද රන් පදක්කමක් දිනා ගැනීමට සමත්විය.

කාන්තා තරග අංශයේදී යුද හමුදාව හා ලීනියා කණ්ඩායම රන් පදක්කම් 2බැගින් ජයගත්තේය. මාස් සදර්න් බොක්සිං ක්‍රීඩා සමාජයට ද රන් පදක්කමක් හිමිවිය.

තරගාවලියේ හොඳම පරාජිත ක්‍රීඩකයා ලෙස යුද හමුදාවේ ප්‍රදීප් රත්නායක සම්මාන දිනාගත් අතර හොඳම පරාජිත ක්‍රීඩිකාවගේ සම්මානය නාවික හමුදාවේ රුචිනි දිල්හානිට හිමිවිය.

මෙවර තරගාවලියට ක්‍රීඩා සමාජ 19ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 208ක් හා ක්‍රීඩිකාවන් 47ක් සහභාගිවූහ. ශ්‍රී ලංකා බොක්සිං තරග ඉතිහාසයේ පළමු වරට යුද, නාවික හා ගුවන් හමුදාවෙන් වාර්තාගත ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160ක් සහභාගිවීම විශේෂත්වයකි.

තරගාවලියේ ශූරතා හා අනුශූරතා දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලේටන්, ක්ලිෆර්ඩ් කුසලාන ඇතුළු ජාතික මට්ටමේ තරගාවලි නියෝජනය කිරීමට සුදුසුකම් ලබාගත්හ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා