අවසන් පූර්ව තරග අද

අන්තර් පළාත් කාන්තා ක්‍රිකට්

අවසන් පූර්ව තරග අද

අන්තර් පළාත් කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ඊයේ එන්.සී.සී.පිටියේ පැවැති අවසන් තරගවලදී දකුණු පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 12ක තියුණු ජයක් වාර්තා කළ බස්නාහිර කණ්ඩායම සහ ඒකාබද්ධ කණ්ඩායමට එරෙහිව ලකුණු 53ක ජයක් අත්කරගත් මධ්‍යම පළාත් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

ඒ අනුව උතුරු මැද පළාත් කණ්ඩායම සහ බස්නාහිර පළාත් කණ්ඩායම අතර පළමු අවසන් පූර්ව තරගයත්, දකුණු පළාත් කණ්ඩායම සහ මධ්‍යම පළාත් කණ්ඩායම අතර දෙවැනි අවසන් පූර්ව තරගයත් අද (30) මුවර්ස් පිටි‍යේ දී පැවැත්වේ.

දකුණු පළාත් කණ්ඩායම සමග ඊයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහරදුන් බස්නාහිර කණ්ඩායම ඕවර 19.3කදී ලකුණු 105ක් රැස් කළේය. බස්නාහිර පළාත් ඉනිමේ දී ශෂිකලා සිරිවර්ධන ලකුණු 27ක් ලබාගත් අතර ඕෂධී රණසිංහ ලකුණු 26ක් රැස් කළාය. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ උදේශිකා ප්‍රබෝධනී කඩුලු 4ක් දවාලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු පළාත් පිල ඕවර 20 අවසානයේ කඩුලු 7කට රැස් කළේ ලකුණු 93ක් පමණි. අනුෂ්කා සංජීවනී ලකුණු 27ක් රැස් කළාය. පන්දු යැවීමේදී ශෂිකලා හා සරීනා රවිකුමාර් කඩුලු 2බැගින් දවාලූහ.

මේ අතර මධ්‍යම පළාත් කණ්ඩායම හා ඒකාබද්ධ කණ්ඩායම අතර පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මධ්‍යම පළාත් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 120ක් ලබාගත්තේය.

ශ්‍රීපාලී වීරක්කොඩි ලකුණු 35ක් රැස් කිරීමට සමත්වූවාය. ශාලිකා නිලුක්ෂි ලැබූ ලකුණු සංඛ්‍යාව 34කි. පන්දු යැවීමේ දී නිලූකා කරුණාරත්න, තරනී රාජපක්ෂ හා මධුරි සමුද්‍රිකා අතර කඩුලු 2බැගින් බෙදී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඒකාබද්ධ කණ්ඩායම ඕවර 15.5කදී ලකුණු 67කට දැවීගියේය. පන්දු යැවීමේ දී චමරි පොල්ගම්පොල කඩුලු 3ක් බිඳ දැමූ අතර ශාලිකා නිලුක්ෂි කඩුලු 2ක් දවා ගත්තාය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවනු ලබන මේ තරගාවලියේ අවසන් මහා තරගය ලබන මැයි මස 2වැනිදා එන්.සී.සී.පිටියේදී පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා