බංග්ලාදේශයේ කඩා වැටුණු ඇඟලුම් කම්හලේ හිමිකරු පලා යද්දී අත්අඩංගුවට

බංග්ලාදේශයේ කඩා වැටුණු ඇඟලුම් කම්හලේ හිමිකරු පලා යද්දී අත්අඩංගුවට

පැය 110ක් ජීවිත සටනක නියැළි කතක් සුන්බුන් අතරින් ආ ගින්නකට මැදිවී මියයයි

බංග්ලාදේශයේ දරුණුම කාර්මික ව්‍යසනය වන ඇඟලුම් කම්හලක් කඩාවැටී‍මේ සිද්ධියේදී එහි සුන්බුන් අතර සිරවී පැය 110 ක කාලයක් ජීවිත සටනක නියැළුණු කාන්තාවක පෙරේදා ඇය මුදාගැනීමේ ප්‍රයත්නය මැද සුන්බුන් අතරින් පැන නැගි ගින්නකට මැදිවිමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව ගිනි නිවුම් ඒකකයේ ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ.

මීට කලින් මේ කම්හල් සංකීර්ණයේ හිමිකරු වන ධන කුවේර, සොහෙල් රානා හොර රහසේම ඉන්දියාවට පලා යාමට ප්‍රයත්න දරද්දී ග්‍රහණයට ගෙන ධකා අගනගරය වෙත ගෙනැවිත් ඇති අතර එහිදී ඔහුට එරෙහි චෝදනා ගොනු කෙරෙනු ඇතැයි සැලකේ.

මේ වනවිට සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව 381 දක්වා ඉහළගොස් තිබේ.

ෂානාස් ලෙස හැඳින්වෙන මියගිය වැන්දඹු මව ඇඟලුම් සේවිකාවක වන අතර ඇය බේරාගැනීමට දැරූ ප්‍රයත්නය අසාර්ථක වීමෙන් ගිනි භටයන් පවා කඳුළු සලනු රූපවාහිනියෙන් දැක්වි තිබේ.

සුන්බුන් අතර සිරවී සිට ඇය පෑ අභීත දිරිය මේ මහා විනාශය මැද බංග්ලාදේශයේම අපේක්ෂා දල්වන්නක් වි‍්‍තිබිණ.

ගිනිභටයන් කීවේ කඩාවැටුණු ගො‍ඩනැගිල්ලෙන් මුදාගන්නා අවසන් තැනැත්තිය ඇය විය හැකිව තිබුණු අතර ඇය එළියට ගනු පිණිස කොන්ක්‍රීට් බාල්කයක් කපද්දී හදිසියේම ගින්නක් හටගත් බවය.


කම්හල් හිමි සොහෙල් රානා පොලිස් අත්අඩංගුවට

පත්විමෙන් පසු

ගින්න නිවා දැමීමට ඔවුන් සමත් වුවත් ආපසු එනවිට ඇය මියගොස් සිටිබව ඔවුහු කීහ."ඇය අභීත කාන්තාවක්.

අවසානය දක්වාම ඇය ලොකු සටනක නිරතව සිටියා. පැය 10-11 ක් පමණ ඇය බේරාගැනීමට අප ප්‍රයත්න දැරුවා. ඒ අභියෝගය අප බාරගත්තත් අප පැරදුණා"යැයි ඔවුහු වැඩිදුරටත් කීහ. ගින්න මැඬලීමේදී ගිනිභටයන් තිදෙනකු පිළිස්සීම් තුවාල ලබා තිබිණ.

සුන්බුන් අතර හිරවූවන්ට හානියක් නොවන පරිදි ඔවුන් මුදාගැනීම සදහා අතින්ම සුන්බුන් ඉවත්කිරීමට ගැලවුම් කණ්ඩායම් පියවර ගෙන තිබුණු අතර මින් පසු මළසිරුරු පමණක් හමුවනු ඇතැයි ‍අපේක්ෂාවෙන් දැන් බැර යන්ත්‍ර යොදාගෙන සුන්බුන් ඉවත්කිරිම අරඹා තිබේ.

මිය ගිය කාන්තාව 18 හැවිරිදි පුතකුගේ මවක වන අතර ඇය තනිකර නොයන ලෙස ගිනිභටයන්ගෙන් ඉල්ලා තිබිණ.

මේ කර්මාන්ත ශාලාව කඩා වැටීම සම්බන්ධයෙන් හා සිදුව ඇති ව්‍යසනය සම්බන්ධයෙන් එහි හිමිකරු මුළුමනින්ම වගකිවයුතු බව පැවසී ඇත්තේ එය අත්හළ යුතු ගොඩනැගිල්ලක් බව ප්‍රකාශයට පත්ව තිබියදීත් ඔහු සේවකයන් බලයෙන්ම එහි වැඩට යෙදවූ බව පැවසෙන හෙයිනි.

කම්හල් හිමිකරු අත්අඩංගුවට ගැනීමෙන් ප්‍රමෝදයට පත් ජනතාව ඔහු එල්ලා මරා දැමිය යුතු බව කියා තිබේ. 2500 ක් පමණ මෙහිදී බේරාගෙන ඇතත් සමහරකු මුදා ගැනීම සඳහා අතපය කපා දමන්නට සිදුවූ බවද පැවසී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා