මුද්‍රණය සඳහා

 
කම්කරු සටනේ පෙරටුගාමියෝ

කම්කරු සටනේ පෙරටුගාමියෝ

අද අප පැමිණ ඇත්තේ, ඉතිහාසයේ දිගු ගමනක් සනිටුහන් කරමිනි. මේ ගමන තුළ දේශපාලඥයන් යන නාමයෙන් පමණක් හැඳින්වීමට උචිත නොවූ උදාර යුග පුරුෂයෝ අපට හමුවී ඇත. අභියෝග හමුවේ නොසැළුණු, පරාර්ථචර්යාවෙන් යුතුව සමාජයට සේවය කළා වූ මහා ගුණපිරි එවැනි ශ්‍රේෂ්ඨ මිනිසුන්, නැතිබැරිකමින් පීඩිත අසරණ මිනිසුන් ඇතුළු සමස්ත කම්කරු පන්තිය උදෙසා හඬනැඟූවන් ය. ලෝක කම්කරු දිනයේදී එවැනි යුගපුරුෂයන් පිළිබඳ කතාබහ කිරීම කම්කරු පන්තියේ ජනතාවට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටම ඉමහත් ආස්වාදයකි. මේ ඔවුන්ගෙන් කිහිපදෙනකු පිළිබඳ සටහනකි.

* ඒ.ඊ.ගුණසිංහ

ලංකාවේ මැයි දිනය පැවැත්වීම ආරම්භ වනුයේ 1933 දීය. එවකට ඉංග­්‍රීසි ගුරුවරයෙකු ලෙස කටයුතු කළ ඊ.ඒ.ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව ප්‍රයිස්පාක් හිදි මේ මැයි රැලිය පවත්වනු ලැබීය. මෙහි තේමාව වූයේ “රාජ්‍ය පාක්ෂික වෙමු” යන්නයි. මේ අවස්ථාවට යටත් විජිත ආණ්ඩුවේ නිලධාරීන්ට හා ඔවුන්ගේ භාර්යාවන්ටද ආරාධනා කර තිබුණි.

එවකට සිටි ප්‍රබල කම්කරු නායකයකු වූ ඒ.ඊ.ගුණසිංහ එතෙර ගොස් මෙතෙර පැමිණි මාක්ස්වාදී මූලධර්ම හදාරා සිටි තරුණ කණ්ඩායමේ ප්‍රබලතම හඬ විය. එංගලන්තයට ගොස් තවදුරටත් ඉගෙනීමට අවස්ථාව තිබුණද ගුණසිංහ තරුණයා මෙරට කම්කරු ජනතාව සමඟ ගැවසෙමින් කම්කරු ව්‍යාපාරය පෙරට ගෙනයාමට කටයුතු කළේ ය.

මෙරට අනෙකුත් සිංහල අධිරාජ්‍යවාදී ජාතික නායකයන් මෙන්ම ගුණසිංහ මහතාටද 1915 දී සිරගත වීමට සිදුවිය. ඒ සිංහල - මුස්ලිම් කෝලහල හේතුවෙන්, අනෙකුත් ජාතික වීරයන් සමඟ ගුණසිංහ මහතා ද සිරගත කිරීමට ඉංග­්‍රීසීන් ක්‍රියා කළේ ය. සිරෙන් නිදහස් වූ පසුව ද ඔහු තම සටන දිගටම ගෙන ගියේ ය. එකල පැවැති ඇඟ බද්ධට විරෝධ පෑමක් වශයෙන් එතුමා සාමාන්‍ය ජනතාව හා එක්ව පාරේ කළුගල් කැඩුවේ ය. මෙරට කම්කරු ව්‍යාපාරයේ ශීඝ්‍ර ව්‍යාප්තියට මුල් වූ ලංකා කම්කරු පක්ෂය 1928 ඔක්තොම්බර් 15 වැනිදා පිහිටුවන ලද්දේ ද ගුණසිංහ මහතා විසිනි.

ශ්‍රී ලංකාවේ පළමුවන කම්කරු සමිතිය ආරම්භ කිරීමෙන් හා පළමු මැයි දින උත්සවය පැවැත්වීමෙන් ඒ.ඊ.ගුණසිංහ නාමය ඉතිහාසයට එක්විය. වැඩ කරන ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සේවය කරමින් ජාත්‍යන්තර සමුළුවලටද සහභාගි වෙමින් මෙරට කම්කරු ජනතාව නියෝජනය කළ ගුණසිංහ මහතා, කම්කරුවන්ට සිය ඉල්ලීම් - අයිතිවාසිකම් ලබා දීමට ක්‍රියා කළේ ය.

* දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ

1934 දී ශ්‍රී ලංකාවේ දෙවැනි මැයි දිනය පැවැත්වූයේ මාක්ස්වාදී සංගමයයි. මෙය ප්‍රථම වරට වමට සම්බන්ධ සමාජවාදී මතවාදය පළ කරන මැයි දින සැමරුම විය. දොස්තර සරවනමුත්තුගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව ප්‍රයිස්පාක්හිදි මේ මැයි රැලියේ පැවැති අතර, එහි තේමාව වූයේ “ජාතික නිදහස හා සමාන වැටුප්” යන්නයි. මේ මැයි රැලියේ ප්‍රධාන කථිකයා ලෙස එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු වූ දොස්තර එස්.ඒ.වික්‍රමසිංහයන් සහභාගි විය.

1926 දී පශ්චාත් වෛද්‍ය උපාධිය සඳහා එංගලන්තය බලා පිටත් වූ වික්‍රමසිංහ මහතා, 1929 දී ලංකාවට පැමිණියේ එංගලන්ත කම්කරු ව්‍යාපාරය හා කොමියුනිස්ට් පක්ෂය සමඟ සම්බන්ධතා ඇති කරගෙනය. ලංකාවට පැමිණ වර්ෂ ‍ෙදකකට පසුව ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට ඉදිරිපත් වූ එකම සමාජවාදි අපේක්ෂකයා වූයේද දොස්තර වික්‍රමසිංහයන්ය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ලාබාලම මන්ත්‍රීවරයා වූ මෙතුමා, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන කමිටුවේ සාමාජිකයකු ලෙස පත්විය.

1933 ආරම්භ වූ සූරිය මල් ව්‍යාපාරයේ ප්‍රබල සාමාජිකයකු වූ වික්‍රමසිංහ මහතා, ඇන්.ඇම්.පෙරේරා , පිලිප් ගුණවර්ධන, ආචාර්ය කොල්වින්. ආර්. ද සිල්වා ආදි වමේ නායකයන් සමඟ කටයුතු කළේ ය. 1935 දෙසැම්බර් 18 වැනි දින ආරම්භ කළ ලංකා සමසමාජ පක්ෂය බිහි කිරීමේ මුල් පෙළේ නායකයන් අතර ද වික්‍රමසිංහයන් කැපී පෙනුන නායකයෙක් විය. 1940 එක්සත් සමාජවාදී පක්ෂය සංවිධානය කිරීමේ පුරෝගාමියාද වූ දොස්තර වික්‍රමසිංහයන්, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් විසින් එක්සත් සමාජවාදී පක්ෂය තහනම් කර එතුමාව සිරභාරයට ගත්තේ ය. බ්‍රිතාන්‍ය කිරීටයට විරුද්ධව කටයුතු කිරීම නිසා අධිකරණය මඟින් සිරදඬුවම් ලැබ සිරබත් කෑ පළමු දේශපාලන නායකයා වූයේ දොස්තර වික්‍රමසිංහයන් ය.

1943 ජූලි මස 3 වැනි දින වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය බිහි විය. එම පක්ෂයේ පරමාර්ථය වූයේ යටත් විජිත වාදයෙන් පූර්ණ දේශපාලන නිදහස සහ සමාජ සාධාරණය ඇති කිරීමය. 1950 දී පවත්වන ලද කොමියුනිස්ට් පක්ෂයේ 4 වැනි සම්මේලන වාරයේදී, කම්කරු පන්තිය, දුප්පත් ගොවි ජනතාව, මධ්‍යම පන්තිය හා බුද්ධිමතුන්ගේද, අධිරාජ්‍යවාදයට ප්‍රතිගාමී තත්ත්වයට විරුද්ධව සටන් කරන ජාතික බලවේගවල පුළුල් ජාතික පෙරමුණක් පිළිබඳ දේශපාලන සංකල්පය ඉදිරිපත් කරන ලද්දේද දොස්තර වික්‍රමසිංහයන්ය.

1930 ගණන්වල කිසිවෙකුගේ අවධානය ළමයින් කෙරෙහි යොමු නොවූ අවධියක ළමයින් වෙනුවෙන් හඬ නැඟූ වික්‍රමසිංහ මහතා අවුරුදු 14ට අඩු දරුවන් ගෘහස්ථ සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම , මහජන සුබසාධක අංශයක් පිහිටුවීම, ළමා සුබසාධනය පිළිබඳ ගැටලු සොයා බැලීමට සමාජ සේවකයන් පත් කිරීම, අසරණ ළමයින් සඳහා ජාතික ළමා නිවාස යෝජනා ක්‍රමයක් ඇති කිරීම, අංගවිකල දරුවන් රජයේ වියදමෙන් නඩත්තු කිරීම ආදි කරුණු රැසක් සඳහා අවශ්‍ය කටයුතු ඉටු කළ පුළුල් දැක්මක් ඇති දේශපාලනඥයා වූයේය. සියලුම කම්කරුවන්ට හා සේවකයන්ට අවම වැටුප්, පැය අටක වැඩ දිනයක් ඇතුළු කම්කරු සමිති සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහතික කිරීම, සියලුම දෙනාට රැකියාවක් හෝ ජීවත්වීමේ මාර්ගයක් සුරක්ෂිත කිරීම හා වයස 18 තරුණයින්ට ඡන්ද අයිතිය ලබා දිය යුතුය යන්න මුලින්ම යෝජනා කළේ ඔහුය.

* ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා

ලංකාවේ පළමු මැයි දිනයට පසු පැවැත්වූ ප්‍රබලම මැයි දිනය වන්නේ 1935 දී ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මැයි දිනය ය. වැල්ලවත්ත රෙදි මෝලේ සේවක ගැටලුවක් මුල්කර ගනිමින් පැවැත්වූ මේ මැයි දිනය හරහා ලංකා සම සමාජ පක්ෂයේ නායකයකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් වෘත්තිය සමිතියක්ද පිහිටුවන ලදී. එතැන් සිට සමසමාජ, කොමියුනිස්ට් යන වමේ දේශපාලන පක්ෂවල මූලිකත්වයෙන් මැයි රැලි හා පෙළපාළි පැවැත්විණි.

මෙරට සමාජවාදී කිරීමේ ගමනක අවශ්‍යතාව උදෙසා ලංකා සම සමාජ පක්ෂය පිහිටුවාලීමේ පුරෝගාමියෙක් වූ කොල්වින් මහතා, 1935 දී ඇරැඹි එම පක්ෂයේ ප්‍රථම සභාපතිවරයා ලෙසද පත්විය. සූරියමල් ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකු ලෙස මෙන් ම, වෘත්තීය සමිති ව්‍යාපාරයේ ක්‍රියාකාරි නායකයෙකු ලෙස කොල්වින් මහතා ජනතා ප්‍රසාදය හිමි කර ගත්තේ ය.

සමාජ සාධාරණය වෙනුවෙන් සෑම විටම සටන් කළ ඔහු නොමිලයේ දුන් හාල් සලාකය කපා හැරීම, තැපැල් ගාස්තුව ශත 05කින්ද, දුම්රිය ගාස්තුව ශත දහයකින්ද තවත් ද්‍රව්‍ය කිහිපයක මිල වැඩි කිරීම ‍ෙහ්තුවෙන්ද මහජනතාව පත්වූ අසීරුතාවයට විසැඳුම් ලබා දීම වෙනුවෙන් 1953 දී මුළු රටම හෙල්ලුම් කවමින්, මහා හර්තාලය දියත් කිරීම සඳහා එක්විය. 1960 වසරේදී රජය පෙරලීමේ කුමන්ත්‍රණයට චෝදනා ලැබූ හේන්පිටගෙදර ඤාණසිහ හිමියන් වෙනුවෙන් දින හැටක වාර්තාගත දේශනයක් විත්තිය වෙනුවෙන් පවත්වමින්, එම හිමියන් නිදහස් කර ගැනීමට තරම් වූ සුවිශේෂි නීතිඥයා වූයේ ද මොහුය.

* ඇන්. ඇම්. පෙරේරා

ජාතිවාදී අරගලය පිළිබඳ තිස් වසරකට පෙර අනාවැකි පළකළ මානවහිතවාදී දේශපාලනඥයකු වශයෙන් ඇන්. ඇම්. පෙරේරා මහතා හැඳින්විය හැකිය. ලංකා සමසමාජ පක්‍ෂය තම නායකත්වය යටතේ ආරම්භ කළ එතුමා, එම පක්‍ෂයේ සමාරම්භක සාමාජිකයා විය. එනිසාම ලංකා සමසමාජ පක්ෂයත්, ඇන්. ඇම්. පෙරේරාත් අතර පවතින්නේ නොබිඳීය හැකි සම්බන්ධතාවයකි. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, පිලිප් ගුණවර්ධන, එඩ්මන් සමරක්කොඩි, ලෙස්ලි ගුණවර්ධන ආදී සමකාලීන දේශපාලන සගයන් ද සමගින් මේ පක්‍ෂය ක්‍රියාවට නැංවිණි.

ප්‍රධාන කරුණු දෙකක් යටතේ ඔහු විසින් සමසමාජ පක්‍ෂය ආරම්භ කරන ලදී. ඉන් පළමුවැන්න වූයේ ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස ලබාගැනීම සහ දෙවැන්න සමාජවාදී සමාජයක් මෙරට බිහිකිරීමයි. 1940 අධිරාජ්‍යවාදී ආණ්ඩුව විසින් ඇන්. ඇම්. පෙරේරා මහතා සිරබාරයට ගනු ලැබීම සුවිශේෂී සිද්ධියක් විය. තම දේශපාලන සගයන්ද සමග ඔහුව සිරභාරයට ගනු ලැබූවත්, 1942දී සිය සගයන්ද සමඟ ඇන්. ඇම්. පෙරේරා මහතා සිරෙන් පැන ඉන්දියාවට පලා ගියේය.

1943 නැවත අත්අඩංගුවට පත් ඇන්. ඇම්. ඇතුළු පිරිස 1945 දක්වා සිරබත් කෑහ. ඔහු සිරගෙදර සිටියදී ශ්‍රී ලංකාවට නිදහස අවශ්‍ය ඇයි? යන ග්‍රන්ථය ලිවීය. මෙසේ අභීත දේශපාලනඥයකු ලෙස අධිරාජ්‍යවාදී ක්‍රියාකලාප හමුවේ ‍ෙමාහු නොසැලිනි. 1953 අගෝස්තු 12 වැනිදා හාල්, පිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පැවැති හර්තාලය මෙහෙයවූ ඔහු, අභීත සෙන්පතියකු ලෙස ක්‍රි‍යා කළේය. 1946 - 1947 කාලයේ ඇන්. ඇම්. පෙරේරාගේ නායකත්වයෙන් මහා වැඩවර්ජන පෙළක් මෙහෙයවීම සිදුවිය.

රජයේ අනිසි නියෝග පිළිබඳ නොතැකූ ඔහු, උදාර විප්ලවීය ජීවිතයක් ගත කළේය. මෙලෙස සිදුවූ සටන්වලදී පොලිසිය සමඟ හැප්පීමට ද එතුමාට සිදුවිය. 1948 සභාග පෙරමුණු දේශපාලන කරලියට පැමිණි පසු, 1970 සමගි පෙරමුණ ආණ්ඩු බලය ලබාගනී. එහි මුදල් ඇමැති වූ ඇන්. ඇම්. පෙරේරා ධනපතීන් සමඟ සටන් කළේය. ජනතාව සඳහා විවිධ සහන වරප්‍රසාද රැසක් ලබාදෙමින් රට සංවර්ධනය කිරීමේ කාර්යයෙහි නියැළිණි. දේශීය විදේශීය බලවේගයනට සාර්ථකව මුහුණ දෙමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔහු වෙර දැරීය.

* පීටර් කෙනමන්

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ආරම්භක පුරෝගාමියකු, වෘත්තීය සමිති නායකයකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, ඇමැතිවරයකු, පක්‍ෂ ලේකම්වරයකු ආදී සුවිශේෂී වගකීම් රැසක් දරමින් කටයුතු කළ ඔහු, උග්‍ර අධිරාජ්‍ය විරෝධී කම්කරු සටන්කාමියෙකි.

1940 පටන් මියයන තෙක්ම තම ජීවිතය පොදු ජනතාව වෙනුවෙන් කැප කරනු ලැබ ඇත. බර්ගර් ජාතිකයකු වුවත් දේශීයත්වයට මුල්තැනක් දෙමින් මෙරට ජාතික, සමාජ හා මානව විමුක්තිය වෙනුවෙන් ඔහු කටයුතු කරනු ලැබීය. ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය හා එක්ව කටයුතු කළ පීටර් කේනමන්, ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියෙක් ලෙස හැඳින්විය හැකිය.

ජාති ආගම් කුලබේද නොතකා, සියල්ලන්ටම සාධාරණ ලෙස සැලකූ එතුමා, ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් සිදුකර ඇත. ව්‍යවස්ථාදායකය තුළ 1947 - 1977 දක්වාම කේනමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නීති අණපනත්වලට පක්‍ෂව මෙන්ම විපක්‍ෂව ඡන්දය ලබාදී ඇත. එමෙන්ම කම්කරු පන්තිය වෙනුවෙන් අවශ්‍ය තැන්වල නීතිය නිසිලෙස පාවිච්චි කරන ලදී.

මෙවැනි මහා යුගපුරුෂයන් දේශපාලන ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරී සාමාජිකයන් වුවත්, අද කාලයේ හැටියට දේශපාලඥයන් වශයෙන් හැඳින්විය නොහැකිය. තම ජීවිතයෙන් පමණක් සමුගෙන ඇති ඔවුන්, ලෝක කම්කරු දිනය වැනි සුවිශේෂී දිනයකදී සිහිපත් කළයුතුමය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]