කොළඹට කඩා වැදුණු නිල් හමුදාව!

කොළඹට කඩා වැදුණු නිල් හමුදාව!

පෙරේදා කොළඹට කඩා වැදුණු ජනගඟ දුටු බොහෝ දෙනා අන්දමන්ද වූහ. එය ලක්ෂ විස්සකට වැඩි ජන සන්නිපාතයක් ලෙස පුවත්පත් වාර්තා කර තිබිණි. නිදහසින් පසු කිසිදු රැලියකට; කිසිදු පෙළපාළියකට මෙබඳු මහ සෙනඟක් රැස් ව නැතැ’යි සමහරු දිව්රා කියති. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන මැයි රැලිය අවසන් වූ නමුදු පෙළපාළිය අවසන් වූයේ නැත. රටේ හතර පැත්තෙන් කොළඹට ඇදුණු දහස් ගණන් ජනතාව ආණ්ඩුවට රැකවරණය ලබා දෙන සටන් - පාඨ කියමින් කොළඹ පුරා සංචාරය කළහ. මෙය එක් අතෙකින් ජයග්‍රාහි අවස්ථාවෙකි. තව අතෙකින් ඓතිහාසික අවස්ථාවෙකි.

බොහෝ රටවල ජනතාව පාරට බසිනුයේ පවත්නා ආණ්ඩුවට එරෙහි ව සටන් කිරීමට ය. පෙළපාළි පැවැත්වීමට ය. නැතහොත් කැරලි ගැසීමට ය. ඉන්දියාවේ පවා ජනතාව පවත්නා ආණ්ඩුවට එරෙහි ව මැයි රැලි ගණනාවක් පැවැත්වීය. සිරියාවේ ජනතාව අමෙරිකාවේ ද සහාය ඇතිව පවත්නා රජය පෙරළා දැමීමට සටන් වදිති. අප්‍රිකානු රටවල් ගණනාවක ද ලතින් අමෙරිකානු රටවල් ගණනාවක ද, මැද පෙරදිග ද මෙබඳු තත්ත්වයන් දකින්නට ලැබේ. එහෙත් ශ්‍රී ලංකාවේ පොදු ජනයා ලක්ෂ විස්සක් පාරට බැස්සේ ආණ්ඩුව වෙනුවෙන් ය. එය මෙරට පවත්නා අලුත් දේශපාලන ප්‍රවණතාවෙකි.

අතිශයෝක්තියෙන් හා දේශපාලන ආවේගයෙන් තොරව කරුණු ගවේෂණයක යෙදුණහොත්; ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය පැවැතීමට බලපාන මූල- සාධක කිහිපයක් සපයා ගත හැකි ය. පළමුවැන්න රටට සාමය හා නිදහස උදාකිරීම යි. දෙවැන්න ඇසට පෙනෙන විශාල සංවර්ධනයක් රට තුළ සිදුවීම යි. තෙවැන්න ආණ්ඩු පක්ෂයට අභියෝග කළ හැකි දේශපාලන ප්‍රවාහයක් රට තුළ නො වීම යි. ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය කැබලිකරණයට ලක් ව තිබේ. තෙවන බලවේගය වූ ජනතා විමුක්ති පෙරමුණට රට හා ජාතිය පිළිබඳ නිවැරැදි ප්‍රතිපත්තියක් නැත. ඔවුන් ළඟ ඇත්තේ හුදු විවේචන පමණි.

ජනතාවට නිදහස හා සාමය ඇතත්; ආර්ථික වශයෙන් යම් පීඩනයක් ඇති බව පිළිගත යුතු ය. ඉන්ධන මිල, විදුලිය ගාස්තු හා ජීවන වියදම ඇත්තේ අපහසුවෙන් දරා ගත යුතු තැනක ය. ලෝකයේ කිසිදු රටක ජීවන වියදම පහළට යන්නේ නැත. සමස්තයක් ලෙස ගත්කළ මුළු මහත් ලෝකය ම ආර්ථික අවපාතයකට මුහුණ දී සිටී. කර්මාන්ත හා සමාගම් වැසී යන අතර විරැකියාව ඉහළ යන්නට පටන්ගෙන තිබේ. ජනතාවට ලබාදෙන සහන එකිනෙක කැපී යයි. ලෝක තත්ත්වය සමඟ බලන විට ශ්‍රී ලංකාවෙහි ඇත්තේ යම් සහනශීලී මට්ටමකි. ආණ්ඩුව රටේ අඩු ආදායම්ලාභීන් ගැන විශේෂයෙන් සලකා බලා තිබේ.

විදුලිය ගාස්තු ඉහළ නො දමා; එම ආයතන පවත්වා ගැනීමේ දුෂ්කරතා පැවැතිය ද පොදු ජනයාට සහනයක් ලබා දෙන්නට ජනාධිපතිවරයා ඉදිරිපත් විය. එය ප්‍රකාශයට පත්වූයේ මැයි පළමුවැනිදා එජනිස මැයි රැලියේදීය. ඒකක 60 දක්වා මාසික පාවිච්චියක් ඇති ගෘහ ඒකකවලට විදුලිය ගාස්තු වැඩිවීමක් නැත. ඒකක 180 දක්වා මාසික පාවිච්චියක් ඇති ගෘහ ඒකකවලට සහනයක් ලැබේ. අ.පො.ස. සා/පෙ, අපොස උ/පෙ වැනි ප්‍රධාන විභාග සඳහා සූදානම් වන දරුවන් ඇති ගෘහ ඒකකවලට ද සහන ලබා දී ඇත. මේ තීන්දුව අඩු ආදායම්ලාභීන් කේන්ද්‍රකොට ගත් තීන්දුවක් බව පැහැදිලි ය.

රටක් වශයෙන් ලෝක ආර්ථික යථාර්ථයනට මුහුණ දීමටද රටේ දේශීය ආර්ථික අභියෝගවලට මුහුණ දීමට ද අපට සිදු වේ. ආණ්ඩුව කළ යුත්තේ එම අභියෝගවලට මුහුණ දෙමින් යහපත් ආර්ථික කළමනාකරණයක් ඇතිකර ගැනීම ය. එහි දී රටේ බහුතර ජනතාව වූ දුප්පතුන් ගැන සලකා බැලීම කළ යුතු ය. වත්මන් ආණ්ඩුව දිළිඳු ජනයා සඳහා සහන රැසක් ලබා දී ඇති අතර ඒවා අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා බලවත් ප්‍රයත්නයක් දරයි. එය ජනතාවගේ පැත්තෙන් බලන විට විශාල ආර්ථික සහනයකි. මෙබඳු සහන ලබා දිය හැක්කේ ජනාධිපතිවරයාට පමණි.

විපක්ෂය දෙස බලන විට; ඔවුන් රටේ හා ලෝකයේ ආර්ථික යථාර්ථයන් හඳුනාගෙන කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මැයි දින සටන් පාඨය වූයේ රුපියල් පහළොස් දහසකින් වැටුප් වැඩි කරනු යන්න ය. එය කිසිකලෙක ඉටු කළ නොහැකි සුරංගනා කතාවක් බඳු ය. ඉටු කළ නො හැකි සටන් පාඨ ජනතාව අතර තැබීමට එම පක්ෂය කොහොමටත් දක්ෂ ය. ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රධාන සටන් පාඨය වූයේ අධිරාජ්‍යවාදයට එරෙහි ප්‍රධාන බලවේගය තම පක්ෂය බව තහවුරු කිරීම ය. මේ වනා හී අතිශය පරණ සටන් පාඨයෙකි. එබඳු සටන් පාඨවලින් ජනතා ප්‍රශ්න විසැඳිය නො හැකි ය.

පොදුවේ ගත් කල විදුලිය ගාස්තුව පිළිබඳ ගැටලුව කාගෙත් අවධානයට ලක් ව තිබිණි. විදුලිය ගාස්තු පහත හෙළිය හැක්කේ විදුලිය නිෂ්පාදනය සඳහා යන වියදම අඩු කර ගැනීමෙන් පමණි. එහෙත් මේ රටේ ආණ්ඩු ගණනාවක් විදුලිය නිෂ්පාදන වියදම පහත හෙළීම සඳහා කටයුතු කර තිබුණේ නැත. ගල් අඟුරු බලාගාර ඉදිකිරීම මේ ගැටලුවට විසැඳුමක් ලෙස පැවැතිය ද පැවැති ආණ්ඩු එය ඉටු කළේ නැත. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වී වසර අටක් තුළ ඒ අතින් සැලැකිය යුතු ප්‍රගතියක් අත්පත් කර ගත්තේ ය. අද විදුලිය කප්පාදුවක් නැත. විදුලිය සැපයීම ද බොහෝ සෙයින් සාර්ථක ය. ‍ෙනාරොච්චෝලේ දෙවන අදියර සාර්ථක වන විට විදුලිය සම්බන්ධයෙන් තවත් ප්‍රගතියක් ඇති විය හැකි ය.

පෙරේදා අප දුටු දේශපාලන යථාර්ථයක් ද මෙහිලා සටහන් කළ යුතු ය. එනම්; රටේ ගොවි - කම්කරු ජනතාව පහසුවෙන් ගොනාට ඇන්දවිය නොහැකි බව ය. පරණ වමේ සටන් පාඨවලට ජනතාව ආකර්ෂණය වූයේ නැත. රටේ තරුණ පරම්පරාව මිථ්‍යාවන් හා සිහින පසුපස හඹා යෑම නතරකොට පවතින සත්‍යයට මුහුණ දෙන්නට උනන්දු වෙති. උගත් තරුණයා කාලය නාස්ති නොකොට ජීවිතයට අර්ථයක් එකතු කර ගැනීමට උත්සුක වන බවද පෙනෙයි. මේ සියල්ල සතුටුදායක දේශපාලන තත්ත්වයකි. රටක් හා ජාතියක් ලෙස නැඟී සිටීමට නම්; මිත්‍යාවන් පසුපස හඹා යෑම නතර කළ යුතුය. ඒ වෙනුවට සත්‍යයට මුහුණ දිය යුතුය.

සන්ධාන ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට අභියෝග කළ හැකි දේශපාලන ව්‍යාපාරයක් පෙනෙන්නට නැත. මැයි පළමුවන දා කොළඹට රැස් වූ ලක්ෂ විස්සකට වැඩි ජනතාව පසක් කරනුයේ එම සත්‍යය යි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා