ජනතා බලවේගය තවමත් ආණ්ඩුව සමඟයි

ජනතා බලවේගය තවමත් ආණ්ඩුව සමඟයි

‘මැයි රැල්ල’ රටට පෙන්වයි

ජන ගඟ කොළඹට ගැලුවේ ය. නෙළුම් පොකුණ නිල් පැහැයෙන් බැබළුණේය. නෙළුම් පොකුණින් ජනගඟ කොළඹ වීථී ඔස්සේ කැම්බල් පිටියට ගැලුවේ රට නඟන මැයි රැල්ල එකම ජනතා රැල්ලක් බවට පත් කරමිනි. මේ ජනතා රැල්ලේ මුල කැම්බල් පිටියට ළඟා වෙද්දී අග කෙළවර සවස හයටත් නෙළුම් පොකුණත් විහාර මහා දේවි උද්‍යානය වටාත් වසා ගෙන සිටියේ ය.

පන්දම් පෙළපාළිය

ජනතා බලවේගය තවමත් ආණ්ඩුව සමඟ බව රට නඟන මැයි රැල්ල යළි ප්‍රදර්ශනය කළේ ය. පෙරේදා කොළඹ වීථී පිරවූ ලක්ෂ ගණන් ජනතාවට ප්‍රශ්න නැත්තේ නොවේ. ඔවුන් හිස මත පැටවූ අලුත්ම ප්‍රශ්නය විදුලි බිලයි. එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් අලුත්ම සටන් පාඨය තදින්ම අල්ලාගෙන පන්දම් පාලියේ යෙදුණා හ.

සමහරු ගිනි හුළු අතින් ගත්හ. තවත් අය අමුඩ ගසාගෙන ඉටි පන්දම් පත්තුකර ගත්හ. පන්දම් පෙළපාළිය ආරම්භ කළේ පාර්ලිමේන්තුව ඇතුළෙන්මය. එජාපය රට බෙදන්නට කොටින්ටත් පන්දම් ඇල්ලුවේය. මැයි දිනය පෙනි පෙනී දැක්වූ මෙම විරෝධයෙන් ආණ්ඩුව දෙදරා යනු ඇතැයි ප්‍රතිවාදී දේශපාලන පක්ෂ උද්දාමයට පත්විය. ජනතා විරෝධය මැයි දිනයෙන් තහවුරු වනු ඇතැයි ඔවුහු කල්පනා කළහ.

එහෙත් සිදුවූයේ මහා හාස්කමක් නොවේ. විස්කමක් නොවේ. වැඩ කරන ජනතාවට ප්‍රශ්න තිබේ. බඩු මිල වැඩිය. බස් ගාස්තුවද වසරින් වසර වැඩි කරන්නේය. හෙට අනිද්දා නැවත වතාවක් බස් ගාස්තු වැඩිවනු ඇත. එහෙත් රට දෙකඩ කරන්නට කිසිවකුට ඉඩ දිය නොහැක. 2005 පත් කරගත් ජනතා ආණ්ඩුව ප්‍රතිගාමී බලවේගවලට විනාශ කරන්නට ඉඩ දිය නොහැක.

“අපේ ප්‍රශ්න අපි විසඳා ගත යුත්තේ වත්මන් ආණ්ඩුව ලවාමය. ඒ නිසා එදාත් අදත් හෙටත් අපි ආණ්ඩුව සමඟයි” පෙරේදා කොළඹට ගැලූ ජන ගඟ හෙවත් මැයි රැල්ල ඉතා පැහැදිලිව ඉහත තීරණයට එළැඹියහ. එළැඹුණා පමණක් නොව එය ලෝකයට ප්‍රදර්ශනය කළහ. ආණ්ඩුව පෙරළන්නට කුමන්ත්‍රණ කරන බටහිර කොටි බලවේග දැන් තාවකාලිකව අඬු බඬු අකුළා ගනු ඇත. ඔවුන්ගේ අරමුණ ඉටු කර ගන්නට කිසිසේත් ඉඩ දිය නොහැකි බව වැඩ කරන ජනතාව ලෝකය හමුවේ දැඩිව ප්‍රකාශ කළහ.

ජනතාවගේ විවිධ දුක් අෙඳීනා අසන්නට රටට නායකයෙක් සිටී. ජනතා අඳෝනා විවිධ පුද්ගලයන්ගේ මාර්ගයෙන් නොව රාජ්‍ය නායකයාම ජනතාවගේ දොරකඩටම ගොස් දැන ගැනීමත් ජනතාවගේ අතින් අල්ලා ඒවාට සවන් දීමත් රාජ්‍ය නායකයාගේ දෛනික වැඩ පිළිවෙළට අයත් විය.

විපක්ෂය පන්දම් එළියේ යද්දී රාජ්‍ය නායකයා “ ගජේ ගහන්නට” මැදමුලනට ගියේ ය. විදුලි බිල ගැන ඔහු විමසුවේ ය. ගමේ ජනතාව ඉතාමත් අර පිරිමැස්මෙන් විදුලිය පාවිච්චි කරන හැටි අපූරුවට විස්තර කළහ.

අපේ බිල ඒකක හතරක් පහක් වැඩි වෙන්නේ ගෙදර පුංචි සාදයක් තිබුණොත් පමණක් බව ජනතාව කීහ. එමෙන්ම විදුලි බිල වැඩි කිරීමෙන් වැඩ කරන පන්තියට දැමූ බර ගැන ආණ්ඩුවේ වෘත්තීය සමිති මාධ්‍ය හමු පවත්වා ප්‍රකාශ කරද්දී ඒවාට රාජ්‍ය නායකයා සාවධානව සවන් දුන්නේ ය. සවන් දුන්නා පමණක් නොව ඒවා එකින් එක අධ්‍යයනය කළේ ය.

ඒ අධ්‍යයනයෙන් ගොනු කරගත් විසඳුම් සමඟ කැම්බල් පිටියට ගියේ ය. විදුලිය විනාශ කරන්නට එක්සත් ජාතික පක්ෂය අතීතයේ කළ කී දෑ එකින් එක විස්තර කළේ ය. ඡන්ද පරදින නිසා කොත්මලේට අත ගසන්නට අකමැති වූ හැටි විස්තර කළේ ය.

නොරොච්චෝලේත් එසේමය. වත්මන් රාජ්‍ය නායකයා ඡන්ද බලාගෙන තීන්දු ගන්නේ නැත. ජනතාවට අවශ්‍ය දේ අවශ්‍ය වේලාවේදී කරන්නට පියවර ගත් හැටි මැයි රැල්ලේදී විස්තර කළ රාජ්‍ය නායකයා විදුලි බිලේ බර අඩු කරන සැලසුම ප්‍රකාශයට පත් කළේ ය. දැන් ඉතින් විපක්ෂය පන්දම් පත්තු කළයුතු නැත. තවත් සටන් පාඨයක් පන්දම් නිවා දමන්නා සේ අඳුරට එකතු විය.

වර්ජන නැති රටක්

මැයි දින රැලියේදී ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයට අතීතය සිහිපත් කළේ දැන් එම පක්ෂය අතීතය මුළුමණින්ම අමතක කොට පුංචි බබුන් සේ නොව ලෝක කපටියන් සේ ක්‍රියා කරන නිසාය. එක්සත් ජාතික පක්ෂයට වැඩ කරන ජනතාව එදා සිටම වහ කදුරුය. නයාට අඳුකොළ මෙනි.

කිසි දිනෙක කම්කරු පක්ෂයේ ඉල්ලීම් දුන්නේ නැත. ලෝක බැංකු නියෝජිතයන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලොක්කන් වටකැර ගෙන අය වැය හැදුවේ වැඩ කරන ජනතාවගෙන් ඈත් වෙමිනි. හැමදේම කප්පාදු කළහ. විශ්‍රාම වැටුප අහෝසි කරන්නට කුමන්ත්‍රණ කළහ. රාජ්‍ය දේපළ එකින් එක විකුණා දමන්නට සැලසුම් සකස් කළහ.

එක්සත් ජාතික පක්ෂයේ කම්කරු විරෝධයට හොඳම උදාහරණය 1980 ජූලි වැඩ වර්ජනයයි. දිනකට රුපියල් 10ක වැටුප් වැඩි වීමක් ඉල්ලා වර්ජනය කළ රාජ්‍ය සේවකයෝ ලක්ෂ ගණනක් එක පෑන් පහරින් ගෙදර යැවූහ. සමහරු ජීවත් වන්නට නොහැකිව සිය දිවි නැතිකර ගත්හ.

මේ සියලු දේ බලාගෙන ආණ්ඩුවේ ලොකුම කෙරුමන් මහත් ආඩම්බරයෙන් සහ ජයග්‍රාහී ලීලාවෙන් කියා සිටියේ “ඔය අලියා” වලිගය වැනුවා පමණක් බවයි. තවත් නායකයෙක් කීවේ වෘත්තීය සමිති වළපල්ලට යවන බවය. ඒ මහා පාපයේ අවසන් ප්‍රතිඵලය වූයේ කම්කරු පන්තිය ක්‍රම ක්‍රමයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්වීම ය. එක්සත් ජාතික පක්ෂය එකට එකතු වී අගනුවරදී නොව තැන් තුනකදී මැයි දිනය සමරන්නට සිදු වීමය.

ජනතාවගෙන් ඈත් වූ රනිල්

සමගි පෙරමුණ ආණ්ඩුව විනාශ කර දමන්නට එම ආණ්ඩුවේම දක්ෂිණාංශය ක්‍රියා කළ හැටි රටට රහසක් නොවේ. එම දක්ෂිණාංශයේ කුමන්ත්‍රණයට නායකත්වය දුන් ඇමැතිවරයකුගේ ආඩම්බරකාර බිරියක් ජනතාව පිළිකුල් කළ හැටි සනාථ කළ සිද්ධියක් අපට මතකය. තම ප්‍රශ්න විසඳා ගන්නට එම ආඩම්බරකාර නෝනා ළඟට සමීප වූ අහිංසක ජනතාව එළවා ගත්තේ “දාඩිය ගඳයි යනවා ගිහින් නාගෙන එනවා” යයි කියමිනි.

රනිල් වික්‍රමසිංහ මෙදා මැයි දිනය සැමරුවේද එම සිද්ධිය සිහිපත් කරමිනි. මහින්ද රාජපක්ෂට වීථී හොඳට හුරුය. වැඩකරන ජනතාවගේ දහදිය සුවඳ හොඳට දැනේ.

ඔහු දැවැන්ත බැනරයක් පෙරටු කරගෙන දකුණත ඔසවා මිට මොළවාගෙන සටන් පාඨ කී කම්කරු නායකයෙකි. ඒ නිසා ආරක්ෂක ප්‍රශ්න මොනවා තිබුණත් කම්කරුවන් යන පෙළපාළියට මොහොතක් එක්වීමට ඔහු අමතක නොකරයි. මෙදා මැයි දින රැල්ලට නෙළුම් පොකුණේදී මොහොතකට එක්වූයේ කම්කරු පන්තිය හැමදාමත් තමන්ගේ ශක්තිය බවට පත්කර ගත් නිසා ය. එයින් මිදෙන්නට ඔහු කැමැති නැත.

රනිල් වික්‍රමසිංහ කිසිම දවසක වැඩකරන ජනතාව සමඟ පෙළපාළි නොගියේ ය. සටන් පාඨයක් ආසාවට කීවේ නැත. රදළකම ඔළුවට ගහලා නිසාය. රාජකීය විදුහලේ ඉගෙන ගත් වෙනත් දේශපාලනඥයෝ තවමත් පෙළපාළි යති. සටන් පාඨ කියති. ඔවුන්ට මහ පාර හොඳට හුරුය. කම්කරු පන්තියේ දහදිය සුවඳ හොඳට හඳුනති.

රනිල් වික්‍රමසිංහ මෙදා මැයි දිනයේදී පෙළපාළි ගියේ නැත. ඔහු කුරුණෑගල ලොකු හෝටලයක් තෝරා ගත්තේ ය. ඒ හෝටලයේ උඩම තට්ටුවට වී තනියම තමන්ගේ ආධාරකරුවන්ගේ පෙළපාළිය නැරැඹුවේ ය. ඔහු අසල කිසිවකු සිටියේ නැත. තනිවම බලාගෙන සිටි වික්‍රමසිංහට දහදිය සුවඳ තබා ඇඟ රත්කර ගත් අහිංසක කම්කරුවන්ගේ දඟර නැටුමත් සමඟ එන මත් වතුර සුවඳ දැනුනේද නැත. කම්කරු පන්තිය වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට කියවන නායකයකු මේ තරමටම කම්තරුවන්ගෙන් ඈත්වීම ඔහු ගැන දන්නා කිසිවකුට ප්‍රශ්නයක් නොවේ. නායකයන් දෙදෙනකුගේ වෙනස කැපී පෙනුනේය.

එපමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ අනෙකුත් කෙළිකාරයන්ද මැයි පෙළපාළියේ කැපී පෙනුණේ නැත. ඔවුන්ට මැයි පෙළපාලි අවශ්‍ය නැත. කම්කරුවන්ද පලක් නැත. එජාපයේ හැටි කවදත් එහෙමය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා