බුදු දහම තරම් වටිනා ධර්මයක් තවත් නැහැ

බුදු දහම තරම් වටිනා ධර්මයක් තවත් නැහැ

කඳාන පොල්පිටිමූකලාන අශෝකාරාමවාසී,

සිරිවිමලසිරි ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය,

පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට සහ සම්බුද්ධ ශාසනයට එල්ලවන විවිධ බලපෑම් සහ ඒවාට මුහුණ දෙමින් සම්බුද්ධ ශාසනය රැකගැනීම උදෙසා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ කඳාන පොල්පිටිමූකලාන අශෝකාරාමවාසී, සිරිවිමලසිරි ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය, හිටපු කථිකාචාර්ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ සමඟ කළ සාකච්ඡාවකි මේ.

සම්බුද්ධ ශාසනයට අද මෙන්ම ඈත අතීතයෙත් යම් යම් බාහිර බලපෑම් එල්ල වූ බව අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. එදා සහ අද තත්ත්වය පැහැදිලි කළොත්?

අපේ රටට බුදු දහම ලැබුණේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 කට පසු ධර්මාශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහයෙන් පැවැත් වූ ධර්ම සංගායනාවෙන් පසුවයි. මිහිඳු මහරහතන් වහන්සේ මේ රටට බුදු දහම රැගෙන ආ පසු බුදු දහම මෙරට ස්ථාපිත වුණත් පසුකාලීනව බුදු දහමට එරෙහිව යම් යම් බලපෑම් ආවා.

පළමු ආක්‍රමණය එල්ල වුණේ් දකුණු ඉන්දියාවේ සොළී අධිරාජ්‍යයෙක් වූ එළාර රජුගෙන්. ඔහු වසර 44 ක පමණ ලංකාව පාලනය කළා. එම කාලය තුළ මෙරට වෙහෙර විහාර විනාශ කරමින් බුදු දහම විනාශ කරන්න ඔහු උත්සාහ කළා.

ඒ වගේම වට්ටගාමිණී අභය රජුගේ කාලයේදී කාලිංග මාඝ ආක්‍රමණය ආවා. පසු කාලීනව ඇතිවූ බැමිණිතියා සාය, 1505න් පසු පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණයන්ගෙනුත් බුදු දහමට දැඩි බලපෑම් එල්ල වුණා. එපමණක් නොවෙයි වර්තමානය ගතහොත් අන්‍යාගමික බලපෑම් සහ වෙනත් බාහිර බලපෑම් බුදු දහමට එල්ල වෙනවා.

වසර දෙදහස් ගණනක ඉතිහාසයක් තිබෙන බුදු දහම රැකගැනීම බෞද්ධයන්ගේ වගකීමක්. බුදු දහම රැකෙන්නේ සිංහල බෞද්ධයන් රැකුණොත් පමණයි. මේ තත්ත්වය ජනතාව අවබෝධ කර ගත යුතුයි.

බුදු දහම සහ සම්බුද්ධ ශාසනය සුරක්‍ෂිත කරගැනීමට අතීතයෙන් උගත හැකි පාඩම් මොනවාද?

එදා එළාර රජතුමා බුදු දහමට එරෙහිව කටයුතු කරද්දී බුදුදහම සුරක්‍ෂිත කර ගැනීම සඳහා ගැමුණු රජතුමා ඉදිරිපත් වුණා. එදා එතුමා ඒ සඳහා භාවිත කළේ තෙරුවන් මුල්කරගත් ක්‍රමවේදයක්. එතුමා සඳහන් කළේ මාගේ මේ ව්‍යායාමය කිසි කලෙකත් රජ සැප පිණිස නො වන්නේය.

හුදෙක් බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහාම වන්නේ ය යනුවෙන්. රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස සතුරා පරාජය කළ යුතු වුවත් එතුමා සතුරාටත් අනුගමනය කළේ මෛත්‍රි ප්‍රතිපදාව. එළාර රජු සමඟ යුද්ධ කරද්දී ගැමුණු රජතුමා බලකොටු 32 බිඳගෙන ඉදිරියට ගියා. මේ සෑම බලකොටුවක්ම ජය ගත් පසු එතුමා සාංඝික දානයක් දීලා සතුරාටත් මිතුරාටත් පින් දුන්නා.

අද බටහිරින් අපේ රටට මානව හිමිකම් උල්ලංඝනය කළා කියලා චෝදනා කරනවා. නමුත් අපේ සිංහල බෞද්ධයන් තරම් මානව හිමිකම් ආරක්‍ෂා කරපු පිරිසක් මේ මුළු ලෝකයේම නැහැ.

ඒවගේම එළාර රජු පරාජය කරන්න මහා යුද්ධයකට යා හැකි බලයක් සහ ශක්තියක් තිබුණත් ගැමුණු රජතුමා ඒ ක්‍රමය අනුගමනය කළේ නැහැ. යුද්ධයකින් සිදුවන මහා මිනිස් සංහාරය වළක්වා ගන්න එතුමා එළාර රජු සමඟ ද්වන්ද සටනකට ගියා. ඇතු පිට ඉඳන් සටන් කරද්දී පවා ගැමුණු රජුගේ් සිතේ තිබුණේ මෛත්‍රි සහගත සිතුවිලි.

සම්බුද්ධ ශාසනය රැකගැනීම උදෙසා එළාර රජු පරාජය කළත් එළාර රජුගේ හුස්ම යන්න කලින් යම් පොරොන්දුවක් වුණා. ඒ ඔහු වෙනුවෙන් රාජකීය ආදාහනයක් කරනවා කියන පොරොන්දුව. ඒ වගේම ශ්‍රේෂ්ඨ ආදාහනයක් කළා පමණක් නොවෙයි, එම ආදාහනය කළ ස්ථානයෙන් ගමන් කරන ඕනෑම කෙනෙක් එතුමාට ගෞරව කර ගමන් කළ යුතුයි කියන නීතියක් පැනෙව්වා.

ගැමුණු රජුට බුදු දහම ගැන අචල ශ්‍රද්ධාවක් තිබුණා. මෛත්‍රි සහගත සිතින් යුද්ධයට මුහුණ දුන් නිසා එතුමාට යුද්ධය ජයගෙන මේ සම්බුද්ධ ශාසනයත් රැකගන්න පුළුවන් වුණා. අදටත් ගැළපෙන්නේ එතුමාගේ ක්‍රමවේදයයි.

අතීතයේ සිටි පැවිදි පඬිවරු මෙන්ම ගිහි පඬිවරුනුත් බුද්ධ ශාසනය රැකගැනීම උදෙසා විශාල මෙහෙවරක් සිදු කළා. ඒ පිළිබඳ සිහිපත් කළොත්?

අසරණ සරණ වැලිවිට සංඝරාජ හිමියන් එදා පරිහානියට පත්ව තිබූ ශාසනය නව පුනරුදයකට ලක් කළා. ඒ වගේම මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි ආදී පැවිදි උතුමන් සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් කැප වී ක්‍රි‍යා කළා. එපමණක් නොවෙයි, වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා, හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා, බ්ලැව්ස්කි මැතිනිය, අනගාරික ධර්මපාලතුමා ආදී ගිහි උතුමන් ද ශාසනය රැකගැනීම උදෙසා සුවිශේෂී මෙහෙවරක් ඉටු කළා.

මෑත යුගයේදී රේරුකානේ චන්දවිමල හිමි, බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමි, කටුබැද්දේ ජිනවංශ හිමි වගේම ගංගොඩවිල සෝම හිමියනුත් මේ ශාසනය බිඳවැටෙද්දී එය ඉස්මතු කරන්න ක්‍රියා කළ පැවිදි උතුමන් ලෙස හඳුන්වන්න පුළුවන්.

විවිධ කාලවලදී විවිධ බලපෑම්වලට නතු වූ සම්බුද්ධ ශාසනයේ වත්මන් ස්වභාවය කෙබඳු ද?

මේ යුගය සම්බුද්ධ ශාසනයේ වැදගත් සංධිස්ථානයක්. පසුගිය කාලේ බිඳවැටුණේ මාර්ගඵලලාභී ගමන් මඟක්. නිවන් මඟ ස්ථාපිත වෙන්න නම් රට අරාජික නොවී සාමකාමී වැඩපිළිවෙළක තියෙන්න ඕනා. නැතිනම් බණ භාවනා, පින්කම් ආදියට ජනතාවට නිදහසේ යොමු වෙන්න බැහැ.

ඒ වගේම තථාගතයන් වහන්සේගේ ධර්මය බබළන්නේ විවෘත විටදී යි. මේ උන්වහන්සේගේ ධර්මය බබළන කාලයක්. බුදු හාමුදුරුවෝ අවුරුදු 45 ක කාලයක් තුළ සූත්‍ර 18,000 ක් පමණ දේශනා කර තිබෙනවා. අද මේ සියලු දේශනාවන් පරිශීලනය කරනවා. ඒ නිසා ධර්ම විනය බබළන මේ යුගයේ බුදු දහමින් නිසි ප්‍රයෝජන ලබාගන්න සියලු දෙනාම සිතට ගත යුතුයි.

බුදු දහම තරම් වටිනා ධර්මයක් ලෝකයේම නැහැ. බුදු දහමින් කුරා කූඹියෙකුටවත් හිංසාවක් පීඩාවක් නැහැ. බුදු හාමුදුරුවන්ගේ ධර්මයෙන් උන්වන්නේ සෑම දෙනාටම කරුණාව, දයාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්‍ෂාව දක්වන්නයි. බුදු දහම ලෝකයේ ඉස්මතු වුණා කියලා ලෝකයේ කාටවත් කරදරයක් නැහැ. අපේ රටේ බහුතරයක් ඉන්නේ බෞද්ධයන් වුණත් අනෙකුත් ආගමිකයන්ට සිය ආගම් අදහන්න කිසිදු බාධාවක් නැහැ. අපේ රටේ ජනතාව ඉතාමත් ආගමික සහජීවනයෙන් ජීවත් වෙනවා.

නමුත් බුදු දහමට වැඩි වශයෙන් බලපෑම් ඇතිවෙන්නේ අන්‍යාගමික පිරිස්වලින් නේද?

ඔව්, අපි සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෛත්‍රිය වඩනකොට අන්‍යාගමික අය අපිට විරුද්ධව කුමන්ත්‍රණ කරනවා. අපේ අය බිලිබා ගන්න උත්සාහ කරනවා. අද වන විට සිංහල බෞද්ධයන් තුළ නව චින්තනයක් ගොඩනැගිලා තිබෙන්නේ මේ තත්ත්වය නිසයි. බෞද්ධයන් ඒකරාශී වී සිටින්නේ අන්‍ය ආගම් යටපත් කරන්න නොවෙයි. ඔවුන් උත්සාහ කරන්නේ බුදු දහම ආරක්‍ෂා කරගැනීමටයි.

අපේ ජාතිය, ආගම නොදැනුවත්ව ම යටපත් වෙලා යන බව මීට වසර ගණනකට පෙර අනගාරික ධර්මපාලතුමා ප්‍රකාශ කළා. මෙවැනි ප්‍රකාශවලින් එතුමා උත්සාහ කළේ ජාතිවාදය අවුස්සන්න නොවෙයි. එතුමාට අවශ්‍ය වුණේ මේ සිංහල බෞද්ධ ජාතිය රැකගන්නයි. එදා ඇතැම් අය එය වැරදියට අර්ථකථනය කළත් එය අදටත් ගැළපෙන තර්කයක්. අපේ ආරක්‍ෂාව අපි සපයා ගන්න ඕනා.

විශේෂයෙන් සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කර ගැනීමේ වැඩපිළිවෙළකට යාමේ අවශ්‍යතාවය අද තිබෙනවා. නමුත් ඒ වෛරී ප්‍රතිපදාවකින් නොවෙයි. මේ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට දීර්ඝ කාලීනව විසඳුමක් සකස් කළ යුතුයි.

බුදුහාමුදුරුවෝ සෝබින්ති සූත්‍රයේ දී පෙන්වා දී තිබෙන ආකාරයට මේ ශාසනය බබළවන්න නම් ශ්‍රාවක, ශ්‍රාවිකා, උපාසක උපාසිකා යන පිරිස් ව්‍යක්ත, විනීත, විශාරද, ධර්මධර, බහුශ්‍රැත, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත වෙන්න ඕනා. ධර්මය පතුරුවන්න ඕනා චණ්ඩ පරුෂ ක්‍රමයකට නොවෙයි. බුදු හාමුදුරුවෝ පුද්ගලයන් දමනය කළේ පුරුෂ ධම්ම සාරථි ගුණයෙන්. අදටත් ගැළපෙන්නේ උන්වහන්සේගේ ක්‍රමවේදයයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා