සේවක අර්ථ සාධකයෙන් කෝටි 4074ක නිවාස ණය

ඉකුත් වසර 12 දී EPF වෙතින් වාර්තාවක්

සේවක අර්ථ සාධකයෙන් කෝටි 4074ක නිවාස ණය

සාමාජිකයන් 191928කට ප්‍රතිලාභ

ශේෂය 30%ක් නම් තව තවත් ණය

අරමුදලේ සුරක්ෂිතතාවට සැලසුම්

සේවක අර්ථ සාධක අරමුදල මඟින් පසුගිය වසර දොළහ දී සාමාජිකයන් එක්ලක්ෂ අනුඑක්දහස් නවසිය විසිඅටකට රුපියල් මිලියන හතළිස්දහස් හත්සිය හතළිස් හතක නිවාස ණය ලබා දී ඇතැයි සේවක අර්ථ සාධක අරමුදලේ කොමසාරිස් ඩි. පි. කේ. ආර්. වීරකෝන් මහතා දිනමිණට පැවසීය.

අර්ථ සාධක අරමුදලේ සාමාජිකයාට හිමි ශේෂයෙන් සියයට 75ක් ණය පදනම මත ලබා‍දිම මෙතෙක් සිදුවූ අතර, තව තවත් සාමාජිකයාට ප්‍රතිලාභ ලබාදිමට කම්කරු අමාත්‍යාංශය සාමාජිකයාට ශේෂයෙන් සියයට 30ක් ආපසු ලබා නොගන්නා පදනම මත ණය ලබාදිමට ‍ද යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

නිවාස ඉදිකිරීම් කටයුතු, ‍බරපතළ රොගී තත්ත්වයන් වෙනුවෙන් ණය ක්‍රමයක් ද හදුන්වාදීමට පියවර ගෙන ඇත. මේ සඳහා නව නීති කම්කරු අමාත්‍යාංශය සකස් කරමින් සිටී. අරමුදල තර කර ගනිමින් වැඩ කරන පන්තියට ප්‍රතිලාභ ලබාදීම සඳහා කම්කරු අමාත්‍යාංශයේ වැඩිපිළිවෙළ ශක්තිමත් කර ඇතැයි ද වී‍රකෝන් මහතා කීය. ණය ලබා ගත් සාමාජිකයන් එම ණය ප්‍රමාණය නිසා ආකාරව ගෙවා අනෙකුත් සාමාජිකයන්ට ද මෙම අවස්ථාව විවර කිරීමට කටයුතු කරන ලෙස ද කොමසාරිස්වරයා කීය.

අර්ථ සාධක අරමුදලේ සුරක්ෂිතතාව සඳහා රජය විදිමත් සැලසුම් ක්‍රියාත්මක කර තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය.

අරමුදල පිළිබඳ විවිධ අසත්‍ය වාර්තාවලට නොරැවටෙන ලෙස ද වීරකෝන් මහතා සාමාජිකයන්ට කියයි. වැඩකරන ජනතාව වෙනුවෙන් රජය ගෙන යන විධිමත් වැඩපිළිවෙළ ඉදිරියටත් සිදු කරන බවද වීරකෝන් මහතා කීය.

වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට කම්කරු ඇමැති ගාමිණි ලොකුගේ මහතාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද වීරකෝන් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා