මහ ජන ගඟක් කැම්බල් පිටියට ගැලුවේ ජනපතින්ගේ නිවැරැදි නායකත්වය නිසායි

මහ ජන ගඟක් කැම්බල් පිටියට ගැලුවේ ජනපතින්ගේ නිවැරැදි නායකත්වය නිසායි

වෘත්තීය සමිති නායකයෝ කියති

ලක් ඉතිහාසයේ ලෝක කම්කරු දින සැමරුම් අතරින් ශ්‍රී ලංකාවේ පැවැත් වූ මැයි දින පෙළපාළියක දුටු දැවැන්තම මහ සෙනඟ පෙරේදා (01) කොළඹ කැම්බල් පිටියට එක් වූහ. ඒ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින රැලියටය.

ඉතිහාසයේ නොවූ තරම් මෙවැනි මහ සෙනඟක් මැයි දින රැලියකට එක් වුව ද ඒ හැම මුවඟකම රැඳුණේ වත්මන් රජය රැක ගත යුතු බවය. කිසිදු කම්කරුවකු රජයට එරෙහිව හඬ නොනැගූහ. මේ ගැන අපි කම්කරු සමිති නායකයන් කිහිප දෙනෙකුගෙන් විමසීමු.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඩබ්ලිව්. එච්. පියදාස මහතා - මෙතරම් ජනතාවක් ආණ්ඩුවේ ක්‍රියාකලාපය අනුමත කරමින් මැයි පෙළ පාලිවලට සහභාගී වීමට මූලික හේතුව හැටියට මම හිතන්නෙ අවුරුදු 30 ක් තිස්සේ දිනා ගන්නට නොහැකි වූ යුද්ධය ජනාධිපතිතුමා රටට දිනා දුන් එකයි. මේ රටේ කිසිදු පාලකයකුට එවැනි හපන්කමක් කරන්න දුටුගැමුණු රජතුමාගෙන් පස්සේ බැරි වුණා.

අනෙක් කාරණය තමයි ජනාධිපතිතුමා වෘත්තීය සමිති නායකයෙක් කම්කරු ඇමැතිවරයෙක්. ඒ නිසා එතුමා දන්නවා කම්කරුවකුගේ තියෙන දුක වේදනාව ඔවුන්ගෙ ප්‍රශ්න ගැටලු ඒවා නිරාකරණය කරගන්න ගියාම උද්ඝෝෂණය කළාම කවදාවත් එතුමා ඔවුන් තලා පෙළා දැම්මේ නෑ. ඒ නිසා කම්කරුවාගේ හැබෑ දුක හඳුනන ජන නායකයා හැටියට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එතුමාට එල්ල වන චෝදනා හමුවේ එතුමා රැක ගත යුතුයි කියන ස්ථාවරයේ සිට තමයි මැයි දිනයේදී මෙරට කම්කරු ජනතාව සංධාන මැයි රැලියට එකතු වුණේ.

එක්සත් කම්කරු සම්මේලනයේ ලේකම් ලීනස් ජයතිලක මහතා - ජනතාවගේ මොන තරම් රජයට විරෝධයක් එල්ල වුණත් ජනාධිපතිතුමා එක පාරටම අර වොලිබෝල් ක්‍රීඩාවේ ඩෑෂ් පහරක් ගැහුවා වගේ මොකක් හරි කරනවා. ඒක තමයි දේශපාලනයේ පරිණත බව කියන්නේ. ඉතින් මම නම් හිතන්නේ ඉතිහාසයේ වැඩිම සෙනඟක් කොළඹට ගෙන්වන්න රජය උපරිම ප්‍රවාහන පහසුකම් ජනතාවට දුන්නා. එය සංවිධානය කරපු ඇමැතිවරු දක්ෂ විදියට ඒ දේ කර තිබුණා. නමුත් ජනතා උද්ඝෝෂණය මැයි රැලියේ නොදුටුවාට ර‍‍ටේ සැබෑ තත්ත්වය ඒක නෙවෙයි. යුද්ධයෙන් ජනතාව නිර්වින්දනය කළාට පස්සෙ ජනතාව දැන් නැගිට සිටිනවා කියල තමයි මට කියන්න තියෙන්නෙ.

ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සෝමවීර චන්ද්‍රසිරි මහතා - කම්කරු ඉල්ලීම් දිනා ගත හැක්කේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පමණි. ඊට වෙනත් විකල්පයක් නොමැති බව රටේ වැඩ කරන ජනතාව අත්දැකීමෙන් දන්නවා. මෙවර මැයි රැලියට ලක්ෂ ගණන් කම්කරු ජනතාව කොළඹට ආවේ ඒ නිසයි.

වෙනත් රටවල් දෙස බලද්දී අද කම්කරුවන් දොට්ට බහින්නේ රැකියා වලින් ඉවත්කිරීම නිසයි. කර්මාන්තශාලා හිටි හැටියේ වසා දමන නිසායි. නමුත් අපේ රටේ එසේ නොවේ. යම් යම් අඩුපාඩු තිබුණත් කම්කරු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවක් අපට තිබෙනවා.

අනෙක් බලවේග රට කරද්දී කම්කරුවන් අපහසුතාවට පත් කළ හැටි වැඩකරන පන්තිය හොඳින් දන්නවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතා - ඉතිහාසයේ මෙතරම් ජන රැල්ලක් කොළඹ මැයි පෙළපාලියකට සහභාගී වුණේ නැහැ. මේකට හේතුව තමයි ජනාධිපතිතුමා කෙරෙහි රටේ ජනතාවගේ තියෙන පැහැදීම. ලෙන්ගතුකම. ඒ වගේම ජාත්‍යන්තර බලවේග හමුවේ අධිරාජ්‍යවාදීන්ට බිය නොවී තමන්ගේ අභිමානය ලොවට පෙන්වන නායකයෙක් සිටීම.

ඒ නිසා සියලුම ජනතාව එකාවන්ව රට නගන නිල් රැල්ලට එකතු වෙලා එකම අරමුණකින් ජනාධිපතිතුමා රැක ගනිමු කියන සටන් පාඨයකින් තමයි මැයි දින පෙළපාලියෙන් කොළඹට ආවේ.

ඔවුන් ඒ කළ කැපකිරීම මුළු ලොවටම දුන්නු එකමුතුකමේ පණිවිඩයක් හැටියටයි මම දකින්නේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා