වරාය සංවර්ධනය රටේ සංවර්ධනයේ කොටසක්

වරාය සංවර්ධනය රටේ සංවර්ධනයේ කොටසක්

මෙරට ජනතාවගේ වානිජ සහ සංස්කෘතික සංවර්ධනය සම්බන්ධයෙන් විශේෂ කාර්යභාරයක් ඉටු කළ වරායන් සහිත ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායකට ඉතිහාසයේ සිටම උරුමකම් කී ශ්‍රී ලංකාව වරාය ඉදිකිරීම් සහ පුළුල් කිරීමෙන් යළිත් එම තත්ත්වය ළඟා කර ගැනීමට වේගයෙන් කටයුතු කරමින් සිටින බව හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය පුළුල් සංවර්ධන සැලැස්මක කොටසක් බව එදෙස විමසුම් ඇසින් බලන විට පෙනී යන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

නාමල් රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ වරාය, වෙළෙඳ සහ සංවිධාන කටයුතු පිළිබඳ අන්තර් ජාතික සම්මන්ත්‍රණය සහ වෙළෙඳ ප්‍රදර්ශනයට කොළඹ, හිල්ටන් හෝටලයේ දී ඊයේ (2) එක්වෙමිනි.

ඉන්දීය සාග‍රයේ මුහුදු මාර්ගවල උපාය මාර්ගික අතින් වැදගත් ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා තිබීම මෙරට වරාය සංවර්ධනයට ඉවහල් වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ශත වර්ෂ ගණනාවක් තිස්සේ අප රට පසු කරගෙන ගිය නෞකාවන්ට සේවය කිරීමට හම්බන්තොට වරයා ඉදිකර තිබීම ශක්තිමත් සාධකයක් බවත් රාජපක්ෂ මහතා පැවසීය.‍

නැඟී එන ආර්ථිකයන් සහිත ඉන්දියාව සහ චීනයට වඩා සමීප වන පරිද්දෙන් ආයෝජනයක් කරමින් එම රටවල ආර්ථිකයන් හා අනුබද්ධව ඉදිරියට ගමන් කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා කීවේය.

ත්‍රස්තවාදය පරාජය කර ඉදිරියට යන ශ්‍රී ලංකාව සියයට 6ක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාම ඇතැමුන්ගේ ඊර්ෂ්‍යාවට ලක්ව ඇති බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා මෙරටට පැමිණ සැබෑ තත්ත්වය පිළිබඳ දැනුවත් වනු දැකීම ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව බවත් ප්‍රකාශ කළේය.

පරිසර හා පුනර්ජනනීය බල ශක්ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන, අමාත්‍යාංශ ලේකම් රාංජිත් ප්‍රේමසිරි, වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා