ඔස්ට්‍රේලියා පුරවැසි ඇමැති ශ්‍රී ලංකාවේ සංචාරයකට එයි

ඔස්ට්‍රේලියා පුරවැසි ඇමැති ශ්‍රී ලංකාවේ සංචාරයකට එයි

තෙදින නිල සංචාරයකට ඔස්ට්‍රේලියානු සංක්‍රමණික හා පුරවැසි කටයුතු පිළිබඳ ඇමැති බ්‍රෙන්ඩන් ඕ කෝනර් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙයි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවත්නා ද්වීපාර්ශ්වික සහයෝගීතාව තව දුරටත් ශක්තිමත්කර ගැනීම සහ නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමේ අරමුණින් ඊයේ (2) ශ්‍රී ලංකාවට පැමිණි ඇමැතිවරයා හෙට (4) මෙරටින් නික්ම යාමට නියමිතයි.

ශ්‍රී ලංකාවට පැමිණි ඔස්ට්‍රේලියානු සංක්‍රමණික හා පුරවැසි කටයුතු පිළිබඳ ඇමැතිවරයා රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් සහ විවිධ ආයතන ප්‍රධානීන් පිරිසක් හමු වී සාකච්ඡා කිරීමට නියමිත බවද නීති විරෝධී සංක්‍රමණ පාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමුකරන බවද ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ඒ සමඟම නීති විරෝධී සංක්‍රමණිකයන් වැළැක්වීම සඳහා දෙරට අතර ක්‍රියාත්මක වැඩපිළිවෙල සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බවද එම කා‍ර්යාලය කියයි.

මෑතක දී බාලි ක්‍රියාවලියේ දී සාකච්ඡා කළ ප්‍රශ්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සහයෝගයෙන් කටයුතු කරන බවට බ්‍රෙන්ඩන් ඕ කෝනර් මහතා ප්‍රතිඥා දී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ නීති විරෝධී ලෙස ඔස්ට්‍රෙල්යාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 42දෙනෙකු පෙරේදා (1) ක්‍රිස්මස් දූපතෙන් පිටුවහල් කළ බවයි.

ඒ අනුව පසුගිය වසරේ අගෝස්තු මස 13 දා සිට මේ දක්වා කාලය තුළ නීති විරෝධී ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 1,071දෙනෙකු ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කර තිබෙන බවද එයින් පුද්ගලයන් 862 දෙනෙකු ස්වෙච්ඡාවෙන්ම පැමිණ තිබෙන බවද එම මහකොමසාරිස් කාර්යාලය කියාසිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා