ඇල්පිටිය කැෂුවල් මෙන්ඩිස් ඇඟලුම් හලේ සේවයෙන් පහ කළ සේවකයන්ට වන්දි

ඇල්පිටිය කැෂුවල් මෙන්ඩිස් ඇඟලුම් හලේ සේවයෙන් පහ කළ සේවකයන්ට වන්දි

කොග්ගල කම්හලට මාරු කිරීම යුක්ති යුක්ත නැතැයි තීරණය වෙයි

ඇල්පිටිය සීමාසහිත කැෂුවල් මෙන්ඩිස් ඇඟලුම් කම්හලේ සේවයෙන් ඉවත් කරන ලද සේවක සේවිකාවන් හතළිස් හත් දෙනකු වන්දි ඉල්ලා පවරා තිබූ නඩුව විභාග කළ ගාල්ල කම්කරු විනිශ්චයාධිකරණයේ සභාපතිනි අතිරේක මහේස්ත්‍රාත් ඊ.ඒ.ඩී.වයි.ඇම්.සී.ඒකනායක මහත්මිය වන්දි ඉල්ලුම්කරුවන්ට රුපියල් හතළිස් හත් ලක්ෂ අනූ අට දහස් හාරසිය අනූ පහක වන්දියක් ගෙවන ලෙස එම කම්හලේ පාලන අධිකාරියට නියෝග කළා ය.

මේ කම්හලේ සේවය කරමින් සිටින විට 2009 අගෝස්තු 20 වැනි දින දැන්වීමක් මගින් දින දහයක අනිවාර්ය නිවාඩු යවා පසුව කොග්ගල පිහිටි කම්හලට ස්ථාන මාරු ලබා දුන් අතර එහි සේවයට වාර්තා නොකිරීම නිසා තමන් සේවය හැර ගියා ලෙස සලකා 2009 සැප්තැම්බර් 1 වැනි දින සිට සේවය අවසන් කළ බව එම සේවකයින් අධිකරණය වෙත දන්වා තිබුණි.

මේ අතර තම කම්හල දිගින් දිගටම පාඩු ලැබූ නිසා සිදුවන මූල්‍ය හානිය වළක්වා ගැනීම සඳහා සේවක පිරිස කොග්ගල කම්හලකට මාරු කළ අතර එය නීත්‍යානුකූල බව වග උත්තරකරුවෝ අධිකරණයට දන්වා සිටියහ. එහෙත් සේවකයින් එම නීත්‍යානුකූල නියෝගය පැහැර හැරීම නිසා ඔවුන් සිය කැමැත්තෙන් සේවය හැර ගියා ලෙස සලකන බවත් වග උත්තරකාර සමාගම අධිකරණයට කියා සිටියේ ය.

රැකියාව ආරක්ෂා කර ගැනීමට අති දුෂ්කරතාවලට මුහුණ දෙමින් රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් රැකියාව කරන බව තීන්දුව දෙමින් ප්‍රකාශ කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය එයම හේතුවක් කර ගෙන මේ නඩුවේ ස්ථාන මාරුව අනුව සේවකයින් අනිවාර්යෙන්ම කොග්ගල සේවා ස්ථානයට වාර්තා කළ යුතුය යන්න තීරණය කිරීම සාධාරණ යුක්ති සහගත නොවන බවද කීවා ය. කම්හලේ පාඩු පියවා ගැනීමට බැංකු ණයකරයක් ඉල්ලා සිටියේ ද ඒ සඳහා කොපමණ මුදලක් ඇස්තමේන්තු කර තිබුනේද යන්න පිළිබඳ ඉදිරිපත් වී ඇත්තේ වාචික සාක්කි පමණක් බවද මහේස්ත්‍රාත්වරිය පැවසුවා ය.

වන්දි ඉල්ලුම්කරුවන් වෙනුවෙන් පියදාස රත්නපාල මහතා සමග නීතිඥ තුෂාර ද සිල්වා මහතා පෙනී සිටි අතර නීතිඥයින් වන කමන්ත විජේනාරායන සහ න.වයි.බී.වීරරත්න යන මහත්වරු වග උත්තරකාර සමාගම වෙනුවෙන් පෙනී සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා