මස්සිනාගේ පරිගණකය ඉස්සූ සොහොයුරාට වැඩ වරදී

මස්සිනාගේ පරිගණකය ඉස්සූ සොහොයුරාට වැඩ වරදී

සහෝදරියගේ සැමියාට අයත් වටිනා පරිගණකයක් සොරකම් කළ බවට සැකපිට ඇයගේ සහෝදරයා සහ තවත් තරුණයින් දෙදෙනකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් 01දා අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර – විජය මාවත ඉසුරුපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් ඉකුත් අප්‍රේල් මස 25 වනදා කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සිදුකළ පුළුල් විමර්ශනවල දී අදාළ නිවෙසේ හිමිකාරියගේ සහෝදරයා සිද්ධිය වූ දිනයේ රාත්‍රියේ යතුරු පැදියකින් තවත් තරුණයින් තිදෙනකු සමඟ පැමිණ සිටින අයුරු ප්‍රදේශවාසීන් දැක ඇත.

ඒ අනුව සහෝදරයා අත්අඩංගුවට ගෙන දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමේ දී සහෝදරියගේ සැමියාට අයත් රුපියල් අසූදහසක් (රු. 80000.00) වටිනා ලැප්ටොප් පරිගණකය සොරකම් කළ බවත්, 25 වැනිදා දිනයේ සහෝදරිය සැමියා හා දරුවන් තම නිවසේ රාත්‍රී ආහාර වේලකට ගිය අවස්ථාවේ නාන කාමරයේ කවුළුවකින් ඇතුළු වී ලැප්ටොප් පරිගණකය සොරාගත් බව පොලිසියට පාපොච්චාරණය කර ඇත.

ඒ අනුව සොරාගත් ලැප්ටොප් පරිගණකය කොළඹ ප්‍රදේශයට රුපියල් දොළොස් දහසකට උකස් කර තිබියදී පොලිසිය සොයාගෙන ඇති අතර, ලබා ගත් රුපියල් දොළොස් දහසකට (රු. 12000.00) හෙරෝයින් මත්ද්‍රව්‍ය රැගෙන ආ බව ඔහු පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

අත්අඩංගුවට ගත් තිදෙනා තවත් සොරකම්වලට සම්බන්ධද යන්න අනාවරණය කර ගැනීම සඳහා අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වන අතර පලාගොස් සිටින තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා