11වැනි ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල

11වැනි ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල

ජනපති ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රීයෙන් ඇරැඹෙයි

මෙරට විශ්ව විද්‍යාල ක්‍රීඩා තරගබිමේ ‘ඔලිම්පික් ක්‍රීඩා උළෙල‘ ලෙස හඳුන්වනු ලබන ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය 11වැනි ක්‍රීඩා උළෙල ඊයේ පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුව විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී උත්සවශ්‍රීයෙන් ආරම්භ විය. මෙවර ක්‍රීඩා උළෙල සමරමින් විශේෂ සමරු ඵලකයක් ද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.

ක්‍රීඩා උළෙලේ සමාරම්භක නිල ප්‍රකාශය කරමින් මෙරට විශ්ව විද්‍යාල තුලින් අන්තර් ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවේවායැයි සුබපැතුම් එක්කිරීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේය.

මොරටුව විශ්ව විද්‍යාලයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙල නියෝජනය කරන විශ්ව විද්‍යාල 14ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආචාර පෙළපාළියකින් සමාරම්භක උළෙල වර්ණවත් විය. මොරටුව, කොළඹ, පේරාදෙණිය, නැගෙනහිර, කැළණිය, ජයවර්ධනපුර, යාපනය, රුහුණ, රජරට, සබරගමුව, අග්නිදිග, සෞන්දර්ය හා කලා, ඌව වෙල්ලස්ස හා වයඹ විශ්ව විද්‍යාල නියෝජනය කරමින් මෙවර ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට අධික පිරිසක් සහභාගි වෙති.

සමාරම්භක උළෙලේ ඔලිම්පික් පහන දැල්වීම සිදුකෙරුණේ මොරටුව විශ්ව විද්‍යාලයේ දීප්තිමත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙපළක් වන බැඩ්මින්ටන් ක්‍රීඩක නදීක ජයසූරිය හා මලල ක්‍රීඩිකා බුද්ධිකා කුලසූරිය අතිනි.

විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩා, ක්‍රිකට්, ටෙනිස්, පාපන්දු, බාස්කට්බෝල්, ඔරු පැදීම, බර ඉසිලීම, බැඩ්මින්ටන්, වොලිබෝල්, පිහිනුම්, නෙට්බෝල්, හොකී, එල්ලේ, රගර්, චෙස්, කැරම් ආදී ක්‍රීඩා ඉසව් 22ක් ඇතුලත්ය. එහි කැරම්, ටෙනිස් හා ක්‍රිකට් තරග පසුගියදා නිමාවට පත්විය. ඒ අනුව සත්කාරක මොරටුව විශ්ව විද්‍යාලය පෙරමුණේ පසුවන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලය දෙවැනි ස්ථානයෙත්, කොළඹ විශ්ව විද්‍යාලය තුන්වැනි ස්ථානයෙත් පසුවෙති.

1980වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඇරැඹි අන්තර් විශ්ව විද්‍යාල ක්‍රීඩා ශූරතා වැඩිම වාර ගණනක් දිනා ගැනීමේ ගෞරවය හිමිවී ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයටය. ඔවුන් මෙතෙක් පවත්වා ඇති ක්‍රීඩා තරගාවලි 10න් 6කම සමස්ත ශූරතා දිනාගැනීමට සමත්විය. ඉතිරි තරගාවලි 4දීම සමස්ත ශූරතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට හිමිවිය. අවසන්වරට 2010 වසරේ පැවැති ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව කොළඹ විශ්ව විද්‍යාලයට හිමිවූ අතර එහි පිරිමි ශූරතාව මොරටුව විශ්ව විද්‍යාලයටත්, කාන්තා ශූරතාව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයටත් හිමිවිය.

උසස් අධ්‍යාපන ඇමැති එස්.බී.දිසානායක, මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා