වෙලගෙදර වසර 3කට පසු ශ්‍රී ලංකා පිලට

වෙලගෙදර වසර 3කට පසු ශ්‍රී ලංකා පිලට

මහේල-හේරත් නැවැත කැඳවයි

වසර 3කට පසුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලට වේග පන්දු යවන ක්‍රීඩක චානක වෙලගෙදර කැඳවා ඇත. එමෙන්ම පසුගිය බංග්ලාදේශයට එරෙහි තරගාවලියට එක්නොවු හිටපු නායක මහේල ජයවර්ධන හා රංගන හේරත් නැවැත ශ්‍රී ලංකා එක්දින පිලට කැඳවා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ජුනි මාසයේදී එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට නියමිතව සිටින හෙයින් සංචාරයට එක්වන කණ්ඩායම ඊයේ ප්‍රකාශයට පත් කළේය.

බංග්ලාදේශයට එරෙහිව අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලියට නම්කළ කිත්රුවන් විතානගේ, උපුල් තරංග, ඇන්ජලෝ පෙරේරා හා සචිත් පතිරණ චැම්පියන් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්කොට ඇත. බංග්ලාදේශය සමග තරගාවලියේදී නවක ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් ලබාදුන්නද චැම්පියන් ලීග්තරගාවයේ දී අත්දැකීම් බහුල ක්‍රීඩකයන් නැවත ශ්‍රී ලංකා පිලට කැඳවා තිබීම විශේෂත්වයකි.

වේගපන්දු යවන්නන් ලෙස ලසිත් මාලිංග, නුවන් කුලසේකර, ෂාමින්ද එරංග හා චානක වෙලගෙදර නම්කොට ඇති අතර දඟපන්දු බළ ඇණියට සචිත්‍ර සේනානායක හා රංගන හේරත් නම්කොට තිබේ. ආරම්භක පිතිකරුවන් ලෙස ටී.එම්.ඩිල්ෂාන් සමග නවක ප්‍රහාරාත්මක ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා ක්‍රියාත්මක වේ.

ම‍හේල ජයවර්ධන බංග්ලාදේශ සංචාරයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ක්‍රීඩා නොකරන බව පැවැසුවද දැන් ක්‍රියාත්මක අයි.පී.එල්.තරගාවලියේදී ක්‍රීඩා කරමින් සිටී. වේග පන්දු යවන ක්‍රීඩක චානක වෙලගෙදර මෙවර අන්තර් සමාජ ක්‍රීඩා තරගාවලියේදී තරග 7කට ක්‍රීඩා කොට කඩුලු 23ක් දවාගෙන ඇති අතර අවසන් වරට ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2010 ජුනි මාසයේ ඉන්දියාවට එරෙහිව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය.

ශ්‍රී ලංකා පිල මෙසේය.

ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උපනායක), ටී.එම්.ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, ලසිත් මාලිංග, රංගන හේරත්, නුවන් කුලසේකර, ෂාමින්ද එරංග, සචිත්‍ර සේනානායක, චානක වෙලගෙදර.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා