පාකිස්තාන හිරගෙදරදී පහර කෑ ඉන්දියා ඔත්තුකරු මිය යයි

පාකිස්තාන හිරගෙදරදී පහර කෑ ඉන්දියා ඔත්තුකරු මිය යයි

යුක්තිය ඉටු කරන්නැයි ඉන්දීය අගමැත ි ඉල්ලයි

සරාබ්ජිත් සිං මියයාමට මත්තෙන් ඉන්දියාවේ අම්රිට්සාර් හි පැවැති ශිෂ්‍ය උද්ඝෝෂණයකදී ඔහුගේ ඡායාරූප රැගත් පිරිස් සරාබ්ජිත් සිංගේ දිවි බේරා දෙන ලෙස ඉල්ලා සිටි අයුරු.

නවදිල්ලිය - ඒ.එෆ්.පි

පාකිස්තානයේ ලාහෝරයේ බන්ධනාගාරයක සිරගතව සිටියදී පහර කෑමකට ලක්ව රෝහල් ගත කෙරුණු ඉන්දීය ඔත්තුකරුවා ඊයේ අලුයම මියගොස් ඇති අතර ඔහු වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉන්දීය අගමැති මන්මෝහන් සිං පාකිස්තාන බලධාරින් ගෙන් ඉල්ලා ඇත.

බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් 16 වසරකට පෙර මරණ දඬුවම හිමිව බන්ධනාගාරගතව සිටි සරාබ්ජිත් සිං නම් ඔහු මිය ගියේ පහරදීම්වලින් ලත් තුවාල හේතුකොට ගෙන බව වෛද්‍යවරුන් පවසා ඇත.

49 හැවරිදි සරාබ්ජිත් සිං ට ම්ලේච්ඡ අන්දමින් මරණිය ප්‍රහාර එල්ල කළ අපරාධකරුවන් අධිකරණය හමුවට ගෙන ආයුතු බව ඉන්දීය අගමැති මන්මෝහන් සිං පවසා තිබේ.

ඔහු ජීවිතයත් මරණයත් අතර පොර බඳිමින් සිටියදී ඔහු බැහැදැකීමට ඉන්දීය තානාපති නිලධාරින්ට ඉඩදී නැති බවට එරට චෝදනා කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් මානුෂික දැක්මකින් කටයුතු කිරීමට පාකිස්තානය අපොහසත් වීම විශේෂයෙන්ම කනගාටුවට කරුණක් බව අගමැති මන්මෝහන් සිං කීවේය.

ඔහු මරණාසන්නව රෝහලේ වැතිර සිටියදී ඉන්දියාවේ හෝ වෙනත් තෙවැනි රටකදී ඔහුට ප්‍රතිකාර ලබාදීමට ඉඩ දෙන ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප වීමෙන් පසු දැන් ඔහුගේ අවසන් කටයුතු කරනු පිණිස මෘතදේහය ඉන්දියාවට ගෙන ඒමට ක්‍රියා කරන බව අගමැතිවරයා කියා ඇත.

ඔහුගේ මෘතදේහය මෘතශරීරාගාරයට ගෙනයන ලද බවත් ඒ සම්බන්ධ මරණ පරීක්ෂණය පැවැත් වීමට සූදානම් බවත් පාකිස්තාන රෝහල් තොරතුරු කියයි.

කෙසේවෙතත් මරණයට තු‍ඩු දුන් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කළ යුතු‍ බව පවසන ඉන්දියාව මේ සිද්ධිය පාකිස්තාන සිරගෙවල්වල සිටින ඉන්දියානුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැක පහළ කරන්නක් බව පවසා තිබේ. පාකිස්තාන මානව හිමිකම් කොමිසම ද සරාබ්ජිත් සිං ප්‍රහාරයට ලක්වීම හෙළා දැක ඇත. ඒ අනුව වරදකරුවන්ට දඬුවම් පමුණු වන ලෙස ද ඔවුන් ඉල්ලා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා