පළිබෝධ නාශක වෙනුවට කෙම් ක්‍රම...!

පළිබෝධ නාශක වෙනුවට කෙම් ක්‍රම...!

අප භාවිත කරන ආහාර ද්‍රව්‍යවලත්, වතුරවලත් ඇතැම්විට විෂ රසායනික ඇතැ’යි විශ්වාසයක් පැතිර තිබේ. රජරට පළාතේ ජලයෙහි වකුගඩු රෝගයට අදාළ විෂ රසායනික ඇතැ’යි පිළිගෙන තිබේ. කෘෂි රසායන හා කෘත්‍රීම පොහොර යොදා වගා කරනු ලබන භෝගවලද වස - විස ඇතැ’යි සමහරු විශ්වාස කරති. රටින් ගෙන්වන කිරිපිටිවල විෂ ඇතැ’යිද සොයාගෙන තිබේ. මේ අන්දමින් බලාගෙන යන විට; කන්නට දෙයක් නැත. බොන්නට දෙයක් ද නැත. පානය සඳහා පොල්වතුර සොයා ගත යුතු ය. ආහාර සඳහා කැලෑ - කොළ හා අලවර්ග පමණක් භාවිත කළ යුතු ය. බලාගෙන යන විට වස - විස නැති ආහාර හා ජලය පාවිච්චි කරනුයේ වැදි ජනතාව පමණි. ඔවුන්ද නගරයට පැමිණි කළ වස - විස සහිත ආහාර හා ජලය පාවිච්චි කරනු ඇත.

අපගේ ප්‍රධාන ආහාරය වන බතෙහි ද විෂ ඇතැ’යි රාවයක් පැතිර ගියේ ය. වී වගාවේ දී මූලික වශයෙන් පළිබෝධ නාශක හා රසායනික පොහොර වරින්වර භාවිත කරනු ලැබේ. ඉන් නො නැවතී මෝල්වල දී සහල් කල් තබා ගැනීම සඳහා විශේෂ රසායනිකයන් යොදන බවට රාවයක් ද පැතිර ගොස් තිබේ. මෙය සත්‍යයක් නම්; මුළු ශ්‍රී ලංකාවම ලෙඩ වෙන බව පිළිගත යුතු ය. මේ කිසිවකට කෙටිකාලීන විසැඳුම් නැත. පළිබෝධ නාශක කුමන ආකාරයකින් භාවිත කළද; එය විෂ සහිත වනු ඇත. කෘත්‍රීම පොහොර ද එසේම ය. මේවා භාවිතයෙන් එකවර ඉවත් විය නොහැකි ය.

අතීත ශ්‍රී ලංකාව තුළ පැවැතියේ ස්වයංපෝෂිත ආර්ථික රටාවකි. ගමට අවශ්‍ය සියලු ද්‍රව්‍ය ගම තුළම නිෂ්පාදනය කැරිණි. වැවෙන් නෙළාගන්නා මාළු තොගය පවා ගම්මුන් අතර සමසේ බෙදා හැරිණි. එදා සිටි වී ගොවියාට විශාල වගකීමක් පැවැරී තිබිණි. එනම්; මුළු ගමටම බත සැපයීම ය. එදා වී වගාව සඳහා රසායනික පොහොර භාවිත කළේ නැත. පළිබෝධයන් සඳහා විෂ රසායනික භාවිත කළේ ද නැත. පොහොර මුළුමනින් ම ස්වාභාවික විය. කුඹුරේ ඉපනැල්ල මතට පිදුරු ගොඩගසා ගිනි තැබීම, මඩ පොළොවට ගොම ඉසීම පොහොර සඳහා භාවිත කළ ප්‍රධාන උපාය මාර්ග විය. පොහොර නැතත් ගැඩවිල් පණුවා කුඹුරට අවශ්‍ය පදාර්ථ සම්පාදනය කළේ ය.

අද කුඹුරක් කොටන විට ගැඩවිලකු දකින්නට නැත. ගැඩවිලකු උදැල්ලට කොතරම් කැපී ගිය ද ප්‍රශ්නයක් නැත. ඒ හැම කෑල්ලක් ම යළි ගැඩවිලකු ලෙස පණ ලබනු ඇත. මඩ පොළොව සාරවත් කරන ස්වාභාවික සම්පත ගැඩවිලා ය. විෂ රසායනික භාවිතය නිසා ගැඩවිලුන් මුළුමනින්ම විනාශ වී ගියේ ය. පළමුවෙන් ම වී ගොවියාට හඳුන්වා දුන් පළිබෝධ නාශකය වූයේ “පොලිඩෝල්” ය. මේ රසායනික කුඹුරු යායකට ගැසූ විට මාස ගණනක් යනතුරුම එම පළාත පිළී ගඳින් වැසී යයි. මේ විෂ රසායනය වතුරට එක් වූ කල සියලු මත්ස්‍යයන් ඝාතනය වේ. දියබරි, කබරගොයි, කක්කුටු සමාජ මුළුමනින් ම විනාශ වෙයි.

මෙය සමස්ත ලෝකයටම බලපා ඇති ගැටලුවකි. ජනගහනය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙත්ම ආහාර ඉල්ලා සිටින කටවල් ප්‍රමාණය ඉහළ ගියේ ය. එහෙත් ලෝකය සතු ඉඩම් ප්‍රමාණය ජනගහනයට සාපේක්ෂව වර්ධනය වන්නේ නැත. එය සීමිත සම්පතක් වන අතර කෙමෙන් ක්ෂය වෙමින් පවතී. සංවර්ධනය සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැපැයීමට ඉඩම්වලින් විශාල ප්‍රමාණයක් වැය වෙයි. ඒ අනුව භූමියෙන් උපරිම ප්‍රයෝජන ගෙන වැඩි අස්වැන්නක් නෙළාගැනීම සඳහා ක්‍රමවිධි සොයන්නට විද්‍යාඥයන්ට සිදු විණි. එහිදී කෘමි නාශක විශේෂ විය. රසායනික පොහොර විශේෂ විය. නව බීජවර්ග විශේෂ විය. මේ සියල්ල නිෂ්පාදනය වූයේ ස්වාභාව ධර්මයට එරෙහිව එහි රිද්මය කඩා දමන ලෙස ය.

ශ්‍රී ලංකාවේ අතීත ගොවියා රසායනික ද්‍රව්‍ය මිශ්‍ර පළිබෝධ නාශක භාවිත කළේ නැත. ඒ වෙනුවට කෙම් පහන් කළේය. කොහොඹ ගෙඩි තලා කුඹුරට ඉස්සේ ය. පළිබෝධයෝ පලා ගියහ. ඒ හැරෙන්නට කුරුලු පාළුව නමින් වෙනම කොටසක් ද කුඹුරේ ඇති කළේය. කෘමීන්ගේ, කුරුල්ලන්ගේ ප්‍රයෝජනයට එය ගැනිණි. මේ ක්‍රමය ගමට ගැළපුණේ ය. ගොවියාට හා සතාසීපාවටද ගැළපුණේය. අවසන් ලෙස රටටද ගැළපුණේ ය. කුඹුරු පාළු වුණේ නැත. අස්වැන්න අඩු වුණේ ද නැත. අස්වැන්න නෙළාගත් ගොවියා දේව පූජා ආදියද අකුරට ම ඉටු කළේය. ඒවායෙහි ශාන්තිය චිරාත් කාලයක් පැවැතිණි.

ගෝලීයකකරණය නමින් හැඳින්වෙන්නේ සන්නිවේදනයේ දියුණුවවත්, විද්‍යා - තාක්ෂණයේ දියුණුවවත් නොවේ. එහි මූලික අභිප්‍රාය වන්නේ ලෝක වෙළෙඳාම පුළුල් කිරීම ය. විශේෂයෙන් බටහිර දියුණු ජාතීන්ගේ වෙළෙඳ භාණ්ඩ ලෝකය පුරා අලෙවි කිරීම ය. බෙහෙත් ද්‍රව්‍ය, රසායනික පොහොර, කෘමිනාශක පමණක් නොව, කෘෂිකර්මයට සම්බන්ධ යන්ත්‍ර - සූත්‍ර නිෂ්පාදනය කරනුයේ ද එම රටවල් ය. ඔවුන්ගේ වෙළෙඳාම පුළුල් කිරීම සඳහා බලගතු ප්‍රචාරණ යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවට පැමිණි “ෆෝඩ්” ට්‍රැක්ටර් සමාගමේ නියෝජිතයෙක් ගවයන් යොදා සී - සෑම නිසා කුඹුරුවල වී අස්වැන්න අඩුවෙන බවට තර්කයක් ඉදිරිපත් කළේ ය. මේ තර්කය ව්‍යාජයක් බව දැන දැන ම “ෆෝඩ්” ට්‍රැක්ටර් ගෙන්වීමට රටේ බලධාරීහු උත්සුක වූහ.

අපි බොහෝ කාරණාවල දී මුළාවේ වැටී සිටිමු. ඇතැම් විට අපි බටහිර වෙළෙඳ – විජ්ජාවලට හසුවී ඇත්තෙමු. තවත් විටෙක අපේ ම උරුමය අමතක කර ඇත්තෙමු. කලකට ඉහත දී සෑම නිෙවසක ම පාහේ කිරි හරකුන් දෙතුන් දෙනකු සිටි අතර දැන් ඒ වෙනුවට ගෙදර ගොඩගසාගෙන ඇත්තේ රටින් ගෙන්වන ලද කිරිපිටි පැකට් ය. ඉන්දියාව විශාල ජනගහනයක් සහිත රාජ්‍යයක් වුව කිරිපිටි විදේශවලින් ගෙන්වන්නේ නැත. ඔවුන්ගේ ප්‍රියතම පානය පිරිසුදු නැවුම් එළකිරි ය. ගවදෙන දක්කාගෙන නිෙවස අසලට ගොස් ඒ මොහොතේ ම කිරි දොවා දරුවන්ට ලබාදීම ඉන්දියාවේ පවතින එක් ක්‍රමයෙකි. මෙබඳු ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ද ඇතිකළ හැකි ය.

1977 විවෘත ආර්ථික ක්‍රමය ව්‍යාප්තවීමත් සමඟ අපේ සමාජය පුරා පැතිර ගිය අදහසක් වූයේ හැකිතාක් රට බඩු ගෙන්වා පාවිච්චි කිරීම ය. ඒවා දේශීය නිෂ්පාදනවලට මෙන් ම, දේශීය සම්ප්‍රදායට වඩා උසස් යැයි හැඟීමත් අප අතර පැතිර ගියේ ය. ඒ අනුව රට බීජ ගෙන්වා භෝග වගා කරන්නටත්,රට ගවයන් ගෙන්වා කිරි නිෂ්පාදනය කරන්නටත් පටන් ගැනිණි. රට බීජවලට පොහොර හා රසායනික බෙහෙවින් අවශ්‍ය විය. රට හරකුන්ට ද කෙළවරක් නැති බෙහෙත් වර්ග අවශ්‍ය විය. මේ සියල්ලෙහි ප්‍රතිඵලය වූයේ අප පාවිච්චියට ගනු ලබන ආහාර ද්‍රව්‍යවල වස - විස මිශ්‍රවීමය. මේ ක්‍රමය නවත්වන තුරු අපට ඔරොත්තු දෙන සෞඛ්‍යාරක්ෂක ආහාර ද්‍රව්‍ය ලබා ගත නො හැකිය.

අප හිතා මතාම සැලැසුම් සහගතව යළිත් අතීත උරුමය දෙසට යා යුතුය. එය තරමක් අසීරු කාර්යයක් වන්නට පුළුවන. එහෙත් ආහාර ද්‍රව්‍යවලට වස - විස මිශ්‍ර වීමට එරෙහිව ගත හැකි වෙනත් පියවරක් නැත. පළමුව ස්වයංපෝෂිත ආර්ථික රටාවක් ගොඩනැගිය යුතුය. දෙවනුව අපගේ ආහාර නිෂ්පාදනය අපේ සංස්කෘතියට අනුව සිද්ධ විය යුතු ය. එසේ වුවහොත් මේ ගැටලු බොහොමයකට විසැඳුම් ඉබේම ලැබෙනු ඇත

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා