පළාත් සභාවල යක්කු නෑ

පළාත් සභාවල යක්කු නෑ

විද්‍යාත්මක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය

මහාචාර්ය තිස්ස විතාරණ

පළාත් සභා ක්‍රමය පිළිබඳ මතුව ඇති සංවාද ගැන හා ජාතික සමගිය ඇති කිරීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැනත්, එ.ජා.පය ඉදිරිපත් කරන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා    යෝජනාවලියේ දෙබිඩිභාවය ගැනත් ලංකා සමසමාජ පක්‍ෂයේ නායක, විද්‍යාත්මක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය, මහාචාර්ය තිස්ස විතාරණ දැක්වූ අදහස් මෙසේ ය.

පළාත් සභා සතු බලතල කප්පාදු කිරීමකින් තොරව උතුරේ ඡන්දය පවත්වන්න එපා කියලා ආණ්ඩුවේ සමහර පක්‍ෂ කිව්වා. එවැනි විරෝධයක් තිබියදී ආණ්ඩුව ඡන්දයකට යොමු වූයේ ඇයි?

මේ වර්ධනීය අවස්ථාව ගැන මම සතුටු වෙනවා. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මතුවූ විරෝධය පදනම් විරහිත විවේචනයක්. පළාත් සභා ක්‍රමයේ ප්‍රශ්න තිබෙනවා. අඩුපාඩු තිබෙනවා. ඒ වුණත් පළාත් සභා ක්‍රමයේ ප්‍රයෝජන අතිමහත්. අප උත්සාහ කළ යුත්තේ පළාත් සභා ක්‍රමයේ දුර්වලතාවලට බලපෑ හේතූන්ට පිළියම් යොදා බලය බෙදීමේ වැඩපිළිවෙළ තව තවත් ශක්තිමත් කිරීමයි.

මේ විවේචනයේ පදනම, අන්තවාදී පක්‍ෂයක් උතුරේ ඡන්දයෙන් ජයග්‍රහණය කළහොත් එයින් බෙදී වෙන්වීමකට මාර්ගයක් විවර වන බවක් නේද?

මේ බොරු බියක්. එවැනි මතයක් දරන්න කිසිම පදනමක් නැහැ. අප රට ඒකීය රාජ්‍යයක්. එවැනි රාජ්‍යයක මූලික වන්නේ මධ්‍යම ආණ්ඩුව සතු බලතලයි. පළාත්වලට ලබාදී තිබෙන්නේ ද්විතීයික මට්ටමේ බලතලයි.

මධ්‍යම රජයකට ඕනෑම වේලාවක පවරා ඇති බලතළ වෙනස් කරන්න පුළුවන්. සංශෝධනය කිරීමේ හැකියාව තිබෙනවා.

පළාත් සභාවක් බෙදුම්වාදී ක්‍රියාමාර්ගයකට යොමු වුවහොත් එය විසුරුවා හැරීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබෙනවා. ඒ නිසා බය වෙන්න කිසිම හේතුවක් නැහැ.

ඉන්දියාවේ පංචායත් ක්‍රමය ඔවුන් ගේ ව්‍යවස්ථාවට සම්බන්ධ කර තිබෙනවා. මම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිවරයා හැටියට එවැනි ක්‍රමයක් ශ්‍රී ලංකාව සඳහාත් යෝජනා කළා. එය පිළිගතහොත් ගම් මට්ටමට බලය ලැබෙනවා.

පළාත් සභා ක්‍රමය පිළි නොගන්නා පක්‍ෂ පවා ග්‍රාමීය මට්ටමේ බලය බෙදීමක් පිළිගන්නවා. එයට හේතුව බිම් මට්ටමේ බලය බෙදීමකදී ඒකකයන්ට ‍ෙද්ශපාලන බලය වෙනුවට පරිපාලන බලය හිමිවීම ද?

ඒක ඇත්ත. හැම දෙයක්ම කොළඹින් තීරණය කරනවා කියලා ජේ.වී.පියේ විවේචනයක් තිබෙනවා. “කොළඹට කිරි ගමට කැකිරි” කියලා ඔවුන් එය හැඳින්වුවා. කොළඹ බලය පළාත් මට්ටමට යොමු කර, එයින් ප්‍රාදේශීය මට්ටමටත්, ඉන් පසු ගම් සභා මට්ටමටත් යොමු කළ යුතුයි. ඒක නොකර එකවර ගම් මට්ටමින් බලය බෙදා හැරීමක් කළ නොහැකියි. පරිපාලන බලය පමණක් ගමට දීමෙන් වෙනසක් ඇති කළ නොහැකියි.

පළාත් සභාවට ලබා දී තිබෙන බලතළ අවශ්‍යය විටෙක සංශෝධනය කළ හැකි බව ඔබ පවසතත් එයට විරුද්ධ වන්නන් කියන්නේ ඒ සඳහා පළාත් සභාවේ පූර්ව අනුමැතිය ලබාගත යුතු බවයි?

නෑ, නෑ. ඒ කියන්නේ මේකයි. අද ව්‍යවස්ථාව අනුව මධ්‍යම ආණ්ඩුවේ හා පළාත් සභා සතු බලතළ ලැයිස්තු වෙන්කර දක්වා තිබෙනවා. ඊට අමතරව දෙගොල්ලොම කොටස්කරුවන් වන සමගාමී ලැයිස්තුවක් තිබෙනවා.

පළාත් සභාවල අනුමැතිය ලබා ගත යුත්තේ ඔවුන් ලබා දී තිබෙන බලතළ ආපසු පවරා ගැනීම ගැනයි. එය ඔවුන්ගේ අයිතියක්. මේ වගන්තියේ මම කිසිම වරදක් දකින්නේ නැහැ. කොළඹ ඉන්නේ දෙවියන් හෝ පළාත් සභාවල ඉන්නේ යක්කු නෙවෙයි. ඔවුන් ලාංකේය සමාජයේ කොටස්.

එසේ නම් ආණ්ඩුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කැඳවා තිබෙන්නේ පළාත් සභා සතු බලතල කප්පාදු කිරීමේ යෝජනාව පුළුල් සංවාදයකට යොමු කිරීම සඳහා ද?

නැහැ, නැහැ. ජාතික හෙළ උරුමය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පළාත් සභා සතු බලතල අවම කිරීම සඳහා පෞද්ගලික යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ යෝජනාව පාර්ලිමේන්තු කමිටුව පත් කිරීමට බලපා නැහැ.

පාර්ලිමේන්තු තේරීම් කමිටුව පත් කිරීමේ අරමුණ ජාතික සමගිය ඇති කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමයි. මෙයට කලින් සර්ව පාක්‍ෂික නියෝජිත කොමිටියක් හරහා, අපි ජාතික ප්‍රශ්නය විසැඳීමට අදාළ ගැටලු 21ක් සම්බන්ධව යම් එකඟත්වයක් ඇති කළා.

මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බව මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් කර තිබෙනවා. ඒ පටන් ගත් කාර්ය සම්පූර්ණ වීමට නම් නව ව්‍යවස්්ථාවක් සම්පාදනය කරන කාර්ය දක්වා ගමන් කළ යුතුයි. නමුත් එය කෙරුණේ නැහැ. කාගෙත් සහයෝගය ලබාගෙන ජාතික ප්‍රශ්නය විසැඳීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යායුතුය කියලා අප ආණ්ඩුවට යෝජනා කළා. ජනාධිපතිවරයා එය පිළිගත්තා. ඒ ගැන මම සන්තෝෂ වෙනවා. අපේ පක්‍ෂයේ නියෝජිතයෙක් පත් කළා නම් තේරීම් කාරක සභාව වඩා අර්ථවත් වෙනවා. ඒ වගේම මේ නිර්දේශ ඔස්සේ සාකච්ඡා ඉදිරියට ගෙන ගොස් මාස හය හතක දී එකඟතාවක් ඇති කර ගත හැකිව තිබුණා.

තේරීම් කාරක සභාවට නියෝජිතයන් නම් කිරීමේ දී, ලංකා සම සමාජ පක්‍ෂයට නියෝජනයක් අහිමිවීම තුළ ඔබ පක්‍ෂය එයට සහභාගිවීමට අදහස් කරනවා ද?

සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවේ සභාපතිවරයා හැටියටත් ලංකා සම සමාජ පක්‍ෂයේ නායකයා හැටියටත්, මම තේරීම් කාරක සභාවට සහභාගී වෙනවා.

සර්ව පාක්‍ෂික කමිටුවේ විසැඳුම් බොහොමයක් ලංකා සම සමාජ පක්‍ෂය පිළිගන්නවා. අපට අවශ්‍ය අපේ අදහස් පමණක් ඉදිරිපත් කිරීම නෙවෙයි. සම්මුතියක් ඇති කර ගැනීමට යි. ඒ සඳහා සර්ව පාක්‍ෂික කමිටුවේ විසැඳුම් වැදගත්. එයට, අදට ගැළපෙන ආකාරයට සංශෝධන මතු කළ හැකියි. ඒ සාකච්ඡාවට අපේ පක්‍ෂයේ මත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

විරුද්ධ පක්‍ෂය තේරීම් කාරක සභාවට සහභභාගී නොවීම එහි කටයුතුවලට බාධාවක් නොවේ ද?

යූ.ඇන්.පිය හෝ ද්‍රවිඩ ජාතික සන්ධානය නොමැතිව විසැඳුමක් ඇති කර ගන්න බැහැ. ඔවුන්ගේ නියෝජනයක් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි.

එ.ජා.පය තේරීම් කමිටුවට සහභාගී නොවුවත්, ජාතික ගැටලුවට විසැඳුමක් ලෙස මංගල මුණසිංහ කමිටුවේ නිර්දේ්ශ පිළිගන්නා බවක් කියා තිබෙනවා නේද?

ඔවුන් මංගල මුණසිංහ කමිටු වාර්තා වගේම මා සභාපතීත්වය දැරූ තේරීම් කාරක සභාවේ යෝජනාත් සලකා බැලිය යුතු යැයි කියා තිබෙනවා. එය තේරීම් කාරක සභාවේ කාර්යයක්. ඔවුන් කටයුතු ඉදිරියට මෙහෙයවන ආකාරය ගැන අපි අවධානයෙන් සිටිනවා.

එ.ජා.පය ඉදිරිපත් කර තිබෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඔවුන් ගේ යෝජනාවක් ලෙස භාර ගෙන තේරීම් කමිටුවට නිර්දේශ ඉදිරිපත් කළ හැකි ද?

යෝජනාවක් නෙමෙයි. යූ.ඇන්.පිය නව ආණ්ඩු ක්‍රම යෝජනා කිහිපයක්, හරියට කිව්වොත් යෝජනා තුනක් ඉදිරිපත් කර තිබෙනවා. වෙස්ට්මිනිස්ටර් ක්‍රමය ක්‍රියාත්මක කළ යුතුය එහෙම නැත්නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ඒ වෙනුවට විධායක බලතල පාර්ශ්ව තුනක් අතර බෙදිය යුතුය කියලා දෙවැනි යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. වර්තමාන ක්‍රමය අනුව රාජ්‍යනායකයා ජනාධිපතියි. නමුත් එ.ජා.පය යෝජනා කරන විස­ැඳුම තුළ රාජ්‍ය නායකයා කවුද කියලා ඔවුන් කියන්නේ නැහැ. රාජ්‍ය නායකයා ජනාධිපති නෙවෙයි කියලා ඔවුන් කියනවා. එහෙනම් කවුද කියලා ඔවුන් කියන්නේ නැහැ.

විපක්‍ෂ නායක, අගමැති හා කථානායක අතර විධායක බලතල බෙදිය යුතුය කියලා එජාපය කියනවා. ඔවුන්ගේ තුන්වැනි යෝජනාවකුත් ඉදිරිපත් කර තිබෙනවා. පක්‍ෂයකට ස්ථාවරයක් තිබිය යුතුයි. නිකන් කතාවට අදහස් ඉදිරිපත් කිරීම තේරුමක් නැති වැඩක්.

ස්ථාවරයක් නොදැරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එ.ජා.පයේ ස්ථාවරය වී තිබෙන බව මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනුත් පෙනෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා