ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරය දේශද්‍රෝහීන්ගේ වැඩක්

ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරය දේශද්‍රෝහීන්ගේ වැඩක්

සර්ව ආගමික නායකයෝ එක හඬින් පවසති

අරාබි නායකයන්ට වැරැදි පණිවිඩයක් දීම ඉලක්කයයි

කොළඹ පොදු ජනයා අතර ආගමික විරෝධයක් නෑ

රට අස්ථාවර කිරීම මේ ක්‍රියාවල අරමුණයි

වහාම පරීක්ෂණයක් කරන්න! මුස්ලිම් ඇමැතිවරු ජනපතිගෙන් ඉල්ලති

කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි පිහිටි ඉස්ලාම් දේවස්ථානයකට කිසියම් සංවිධානාත්මක පිරිසක් පෙරේදා එනම්; 10වන සෙනසුරාදා ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල මහ සමුළුව කඩාකප්පල් කිරීම බව හෙළිදරව් වෙමින් පවතී. මේ කුමන්ත්‍රණය පසුපස ආණ්ඩුවට එරෙහි දේශීය හා විදේශීය බලවේග ක්‍රියාත්මක වන බවට ද සාක්ෂි පවතී.

ආණ්ඩුවේ ප්‍රධානීන් මේ පහරදීම තරයේ හෙළා දකින අතර සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කිරීමට ද තීන්දු කර තිබේ. මේ පහරදීම දේශද්‍රේහීන්ගේ ක්‍රියාවක් බවද ඔව්හු කියා සිටිති.

ජාතික සමගිය සඳහා වූ අන්තර් ආගමික සංවිධානය ඊයේ සිද්ධියට සම්බන්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වීය.

එහිදී අදහස් දැක්වූ ජාතික සමගිය සඳහා වූ අන්තර් ආගමික සංවිධානයේ ප්‍රධාන සභාපති, සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිරඤාණ නාහිමියෝ

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත රාජ්‍ය නායකයන් නොමඟ යැවීමේ ප්‍රයත්නයක දේශද්‍රෝහීන් පිරිසක් නිරත වී සිටින බව පැවසූහ.

එම ද්‍රෝහීන් පිරිසට රට තුළ සිදුවන වේගවත් සංවර්ධනය දෙස බලා සිටිය නොහැකිව මෙම රටට එරෙහි ක්‍රියා මාර්ගයන්හි නිරත වී සිටින බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

පෙරේදා (10) ග්‍රෑන්ඩ්පාස්හි මුස්ලිම් ආගමික පල්ලියකට පහරදීමේ සිද්ධිය වෙනුවෙන් ඊයේ (11) කොළඹ මහජන පුස්තකාලයේ පැවැති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව පැවසූහ.

ලෝක රාජ්‍ය නායකයින් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටියි. රාජ්‍ය නායකයින් ලංකාවට පැමිණෙන බවට දැනටමත් ප්‍රතිඥා දී තිබේ. ඔවුන් රටේ සංවර්ධනය සියැසින් දැක, මෙරට ජනතාව සමඟ කතා බහ කිරීමට මෙය වැදගත් අවස්ථාවක් කරගෙන ඇත. ලෝක රාජ්‍ය නායකයින් මෙරටට පැමිණීම ඉවසාගත නොහැකි කුමන්ත්‍රණකාරීන් මේ වන විට විවිධ අරගල කිරීමට සැදී පැහැදී සිටිති. මෙතෙක් ගත් සෑම පියවරක්ම අසාර්ථක වූ බැවින් වෙනත් ක්‍රියාමාර්ග මඟින් රට අස්ථාවරත්වයට පත් කර ජාත්‍යන්තරයට පෙන්වීමට මාන බලන බවත් උන්වහන්සේ පැවසූහ.

ආගමික අසමගිය ඇතිකර ආගමික භේද ඇතිකිරීමත්, වතුර ප්‍රශ්නයක් ඇතිවන විට කුමන්ත්‍රණකාරයින් එතැන ප්‍රශ්නයක් ඇතිකර ඒවා වෙනතකට යොමු කර ලෝකයට පෙන්වීමටත් උත්සාහ දරති.

මේ අනුව ඇතිවන සෑම ප්‍රශ්නයකදීම සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට උත්සාහ කළ යුතු බවත්, කුමන්ත්‍රණකාරී, බලවේග , ජාතිද්‍රෝහීන් හඳුනා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර රට වෙනුවෙන් කළ හැකි පූජාවක් ලෙස සලකා මෙවැනි සියලු පාප නතර කරන ලෙසත් කුඹුරුගමුවේ වජිරඤාණ හිමි සඳහන් කරති.

ජාතික සමගිය සඳහා වූ අන්තර් ආගමික සංවිධානයේ ගලගම ධම්මරංසි හිමි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත රාජ්‍ය නායක සමුළුවට බාධා කිරීමේ අරමුණින් දේශද්‍රෝහීන් රටේ මහා විනාශයක් ඇති කිරීමට උත්සාහ කරන බව ගලගම හිමියෝ කීහ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පෞරුෂත්වය තුළ අද මෙරට ජාතික ආගමික සමගිය වර්ධනය වී තිබේ. අධිවේගී මාර්ග, ගුවන් තොටුපොළ වරාය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ඉදිවෙමින් පවතියි.

මධ්‍යම, උතුරු සහ පුත්තලම් දිස්ත්‍රික්කය ඇතුළු වයඹ හා හා පුරා කියා මැතිවරණයක් පවත්වන එකම අවස්ථාවයි.

සමහර පිරිස් උත්සාහ කරන්නේ, රට තුළ භේද භින්න ඇති කිරීමටයි. දීර්ඝ කාලයක් පවත්වා ගෙන එන ජාතික සමගිය ඉදිරියටත් අපි පවත්වාගෙන යායුතුයි. අපි සියලු ජනවර්ගයන් කෙරෙහි මෛත්‍රියෙන්, කරුණාවෙන් කටයුතු කළ යුතුයි.

අප රටේ ජනතාව මෝඩ නැහැ. නිවැරදිව කරුණු කාරණා තේරුම් ගන්න පිරිසක් තමයි මේ රටේ සිටින්නේ. රට විනාශ කිරීමට කටයුතු කරන වංචනිකයින්ට මේ රටේ ජනතාව හසුවන්නේ නැහැ.

එදා සිරිමාවෝ මැතිනියටත් නොබැඳි සමුළුව පැවැත්වීමට ගිය අවස්ථාවේදී මෙවැනි චෝදනා, අපහාස ඇති වුණා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට විශාල මුදල් සම්භාරයක් වියදම් කරනවා කියන එක අපි බැහැර කරන බවද මෙම සමුළුව මෙරට පැවැත්වීම තුළින් රටට විශාල ප්‍රතිලාභයක් අත්වන බව ද උන්වහන්සේ පැවසූහ.

ජාතික සමගිය සඳහා වූ අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති

සරත් හෙට්ටිආරච්චි පියතුමා

වසර තිහක ශාපලත් යුද්ධයක අප පැටලී සිටියා. එහි අමිහිරි මතකයන් හාරා ඇවිස්සීමට අපට අවශ්‍ය නැහැ.

අද අතිවිශාල පිරිසක් කොළඹ වරායේ ඉදිකිරීම් බැලීමට පැමිණෙමින් සිටිති.

ප්‍රාන්තවලට කැඩෙන්නේ නැතිව අපි සියලු දෙනාම එකට බෙදා හදා ගෙන ජීවත් වෙනවා. මේක දකින්න බැරි පිරිස් සිටිනවා. සුළු සුළු ගැටුම්වලින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරන අන්තවාදීන් සුළු පිරිසක් සිටින බවත් කුමන්ත්‍රණකාරී බලවේග හඳුනාගෙන ක්‍රියා කළ යුතු බවත් සරත් හෙට්ටිආරච්චි පියතුමා පැවසීය.

ජාතික සමගිය සඳහා වූ අන්තර් ආගමික සංවිධානයේ ආචාර්ය අල්හාජ්සන් මව්ලානා පූජක තුමා සහ එම සංවිධානයේ හින්දු ආගම නියෝජනය කළ ශිවනේශ කුරුක්කල් තුමන්ද මෙහිදී අදහස් දැක්වූහ.

ග්‍රෑන්ඩ්පාස් සිද්ධිය පිළිබඳ ප්‍රතිචාර දක්වන රජයේ මුස්ලිම් ඇමැතිවරු මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ද බෞද්ධ නායකයන්ගෙන් ද ඉල්ලා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා