දඹුල්ලේ කුණු අල ගමට ගෙනා අයට හොඳ පාඩමක්

දඹුල්ලේ කුණු අල ගමට ගෙනා අයට හොඳ පාඩමක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලකින් ඉවත්කළ කුණු අර්තාපල් අල තොගයක් රාත්‍රියේ ගමකට රැගෙනවිත් දමා ගිය පසු ගම්මුන් ඊයේ (11) මැදිහත් වී එම වෙළඳසැලේම අය ගෙන්වා නැවත කුණු අල පටවා යැවීමට ඉඩ සැලසීය.

කාලයක් තිස්සේ දඹුල්ල සිසිරවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් වලට සහ ඇළවේලිවලට කුණු අර්තාපල් අල ගෙනවිත් දැමීම නිසා ගම්මුන් දැඩි සෞඛ්‍ය ප්‍රශ්නයකට මුහුණ පා සිට ඇත. ඒ අනුව පෙරේදා (10) රාත්‍රී 12.00ට පමණ ලොරි රථයක් කුණු අල ගම මැද දමා යද්දී ගම්මුන් පිරිසක් පැමිණ ලොරිය නැවැත්වීමට උත්සාහ කරද්දී ලොරිය පලාගොස් තිබිණි.

කෙසේ හෝ මේ කුණු අල අතරේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අල පිටරටින් ගෙන් වූ වෙළඳසැලේ බිල්පත් හා ව්‍යාපාරිකයාගේ දුරකථන අංක සහිත කාඩ්පත් කීපයක් ගම්මුන්ට හමු වී ඇත.

එම අල ගෙන්වා ඇත්තේ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු බව ගම්මුන්ට එමඟින් අනාවරණය වී ඇත.

ගම්මුන් මන්ත්‍රීවරයාට දුරකථනයෙන් කතාකොට අල රැගෙන යන ලෙස දැනුම් දුන්නද ඔහු නොපැමිණි තැන පොලිසියටත් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ද දැනුම් දුන්හ.

නගරාධිපතිවරයා එම ස්ථානයට පැමිණ පැය දෙකහමාරක පමණ කාලයක් තිස්සේ ව්‍යාපාරිකයා එම ස්ථානයට පැමිණෙන බව දැනුම්දුන් නිසාවෙන් පසුව වෙළඳසලේ අයකුට දුරකථනයෙන් කතා කළ නගරාධිපති ජාලිය ඕපාත මහතා මේ අල තොගය ඉවත් නොකළහොත් නීතිමය පියවර ගන්නා බව දැන්වීමත් සමඟ, මන්ත්‍රීවරයා හෝ වෙළඳස‍ෙල් කළමනාකරුද නොමැතිව සේවකයන් පිරිසක් ලොරි රථයක් රැගෙන ආහ.

ගම්මුන් මෙහි දී ඔවුන්ට බැන වදින්නට වූහ. එහි දී සේවකයෝ රාත්‍රී ගෙනවිත් දැමූ අර්තාපල් අල නැවත ලොරියට පටවාගෙන ගොස් ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා