චාරිත්‍ර රැසක් ඉටුවන කතරගම ඇසළ පෙරහරේ 6 වන දිනය අදයි

චාරිත්‍ර රැසක් ඉටුවන කතරගම ඇසළ පෙරහරේ 6 වන දිනය අදයි

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහරේ 6 වන පෙරහර අදයි (12).

අද පෙරහර ආරම්භ කිරීමට ප්‍රථම පෞරාණික චාරිත්‍ර රැසක් ඉටුකරන දිනයකි. රුහුණු කතරගම මහා දේවාලය ඉදිරිපිට ඇති අතු පන්දලමට අලුතින් අතු දමා සකස් කිරීම මහා දේවාලය අභ්‍යන්තරයේ ඇති දුටුගැමුණු රජතුමාගේ මංගල හස්තිරාජයා වූ කඩොල් ඇතාගේ දළ දෙක කතරගම මහා දේවාලයේ දේවාල තිරය දෙපස මණ්ඩපයේ තැන්පත් කිරීම රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමාගේ නිල නිවාසයේ බස්නායක වලව්වේ ගොම මැටි ගාන ලද කාමරයේ මහා සංඝරත්නය වෙනුවෙන් දහවල් දානමය පින්කමක් පැවැත්වීම.

රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා චාරිත්‍රානුකූලව ඇසළ පෙරහරේ ගමන් කිරීම ඇරඹීම සිදුකෙරේ.

අද පෙරහරට උඩරට වෙස් නැටුම්, පන්තේරු කණ්ඩායම්, මොනර, සිංහ, ඛ්නුමන්තා භක්ති කණ්ඩායම් ඇතුලු නර්තන කණ්ඩායම් 30ක් පමණද අලි ඇතුන් රැසක්ද ගමන් කරති.

අද කතරගම මහා දේවාලයෙන් ඇරඹෙන ‘දේව පෙරහර’ ගණ දේවාලය, කිරි විහාරය ඉදිරිපිටින් අෂ්ටඵල බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිණාකර මහා වාසල් දොරටුවෙන් පිට වීදියට පිවිසේ.

එම වීදියේ සතර මහ දේවාලය භද්‍රකාලි අම්මා දේවාලය ඉදිරිපිටින් ගමන් කැර පෙරහර වල්ලිඅම්මා දේවාලයට පැමිණේ. එම දේවාලයේදී පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටුකර පෙරහර මහවීදියේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය ඉදිරිපිටින් ගමන්කර පෙරහර මහා දේවාලයට ගෙවදිනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා