දේශපාලන කරලියේ ඥාති සංග්‍රහ වෙනස් කළ හැක්කේ ඡන්ද දායකයාට පමණයි

දේශපාලන කරලියේ ඥාති සංග්‍රහ වෙනස් කළ හැක්කේ ඡන්ද දායකයාට පමණයි

- ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් රට ගොඩනංවන මේ මොහොතේ ශක්තිමත් විපක්ෂයක් රටට අවශ්‍ය වූවද අවාසනාවට ශක්තිමත් විපක්ෂයක් අද රටට නැතැයි වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය පාර්ලිමේන්තුවේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

ආණ්ඩුවක යහපත් ක්‍රියාමාර්ග අගය කරමින් ඒ සඳහා සහය ලබාදීම මෙන්ම අඩුපාඩු පෙන්වා දී ඒ සඳහා ධනාත්මක විවේචන සිදුකිරීම රටක විපක්ෂයේ කාර්ය භාරය වූවත් මේ කිසිවක් අද අප රටේ විපක්ෂයෙන් සිදුනොවන බව ඒ මහතා කීය.

මහනුවර පුෂ්පදාන ශාලාවේ පැවැති සෙංකඩගල මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රීලනිප ආසන බල මණ්ඩල රැස්වීමේදී හෙතෙම මේ බැව් පැවැසීය.

අද වනවිට මේ රටේ විපක්ෂයක් නැති තරම් බවත් සන්ධානය මැතිවරණ රැස්වීම් පවත්වන සෑම ස්ථානයකදීම එජාපයේ ජවිපෙ පිරිස් සන්ධානය සමඟ එක්වන බවත් අමාත්‍යවරයා කීය.

ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ තමන් කැමති පක්ෂයකට සහය ලබාදීමට ඡන්දය දීමට ජනතාවට අයිතියක් ඇතැයිද අද තමන්ගේ පක්ෂ එපාවී සන්ධානයට එක්වන පිරිස් නවතාලීම හැකියාවක් නැතැයිද ඒ මහතා පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් කතා කළ අමාත්‍යවරයා මෙසේද කීය.

දහතුන්වන සංශෝධනය පිළිබඳ දැඩිව කතා බහ කරන වකවානුවක තමයි අද අපි මධ්‍යම වයඹ උතුරු පළාත් සභා මැතිවරණයට මුහුණ දී තිබෙන්නේ. පළාත් සභා බල තල මදි ඒ වගේම තවත් අවශ්‍ය කියන විවිධ කොටස් මේ පළාත් සභා ගැන අද කතා කරන එම පිරිස් මේ මැතිවරණයට මුහුණ දෙනවා. උතුරේ අර්බුදයට විසඳුමක් ලෙස ගෙන ආ පළාත් සභා පසුව භෞතිස්ම කරනු ලැබුවා. මුලදී තම දියණියගේ පුතාගේ විවාහයට අකමැති වන දෙමාපියන් තම දූ දරුවනට දරුවන් ලැබීමත් සමඟ වඩාත් ්කැමති වනවා සේ අද වනවිට මැතිවරණ රැසක් පැවැත්වූ පළාත් සභා ක්‍රමය ශක්තිමත් වී තිබෙනවා.

අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වඩාත් ශක්තිමත්වී ඉහළම මට්ටමක තිබෙනවා. එදා සෙංකඩගල මහනුවර බදුල්ල වගේ ආසන තිබුණේ එජාපයටය. නමුත් අද වනවිට ඉහළම ප්‍රතිශතයකින් ඒ සියලු ආසන අපි ජය ගන්නවා.

එදා 2004 දී ජ.වි.පෙ. අපිත් සමඟ තරග කරනවිට සෑම දිස්ත්‍රික්කයම අපේ ජනප්‍රිය චරිත සියල්ල අභිබවා ජවිපෙ අපේක්ෂකයන් මුල්තැනට ආවා. එලෙස ආ අපේක්ෂකයන්ට අද ප්‍රාදේශීය සභාවකවත් ජයගන්න බැරි වෙලා තියනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනෙන් දින ශක්තිමත් වෙලා අද ඉහළම මට්ටමක තිබෙනවා.

ජනාධිපතිතුමාගේ මෙහෙයවීම මත අපේ රජය ඉතිහාසයේ ඉහළම සංවර්ධන වැඩ කොටසක් පසුගිය වකවානුවේ සිදුකළා. ජනතාව ඒ වෙනුවෙන් අද අපිත් සමඟ විශාල ලෙස අත්වැල් බැඳගෙන සිටිනවා. අපේ රජය ගැන ජනතාවට ලොකු විශ්වාසයක් තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දර්ශනය චින්තනය අතින් අලුත් විය යුතු පක්ෂයක්. එවිටයි දේශපාලන ලෝකය තුළ රැඳී සිටිය හැක්කේ. ශ්‍රීලනිපයේ ශක්තිය පහළ මට්ටමේ සිටින පාක්ෂිකයන්ය. අද සමස්ත දේශපාලන ව්‍යුහයම වාණිජකරණය වෙලා. එය බරපතළ ඛේදවාචකයකි.

මේ වනවිට අපි පළාත් පාලන ක්‍රමයේ මනාප ක්‍රමය ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එනිසා ඇති හැකි ඕනෑම අයෙකුට ප්‍රාදේශීය සභාවට තරග කළ හැකිය. මගේ අදහස ඊළඟ පළාත් සභා මැතිවරණ වනවිට පළාත් සභා ක්‍රමයද මනාප ක්‍රමයෙන් බැහැර විය යුතුය යන්නය.

දශක තුනක ත්‍රස්තවාදය පරාජයට පත්කිරීමත් සමඟ අද ජනාධිපතිතුමා ප්‍රමුඛ අපට විශාල ලෙස විදේශ බලපෑම් එල්ල වෙනවා. ඒ සඳහා ඇතැම් දේශීය බලවේගද ක්‍රියාත්මක වෙනවා. මේ සියලු බලවේගවලට අපි ඉහළම ජන බලයකින් පිළිතුරු දිය යුතුය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා කතා කරමින්,

එදා ඡන්ද ප්‍රතිපල කියන විට හැමදාමත් මහනුවර සෙංකඩගල ආසනය කොළ පාටින් ඉහලින්ම පෙන්නුම් කළා. නමුත් අද වනවිට එය ඉතිහාසගත පෙරළියක් සිදුකරමින් නිල් පාටින් ඉහළින්ම පෙන්නුම් කරනවා.

මේ වනවිට අපේ සෙංකඩගල ආසනය වැඩි ඡන්ද 15,000 කින් අපට ජයගත හැකියි. මෙවර මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් අපි ඉදිරිපත් කැර තිබෙන අපේක්ෂක ලැයිස්තුවේ සියලුදෙනා ඉහළ සුදුසුකම් සහිත අපේක්ෂකයන්ය. මේ නිසා අපේ ජනතාවට මනාප දහයක්වත් තිබුණොත් හොඳයි කියා හිතෙයි. එජාපය ජවිපෙට එහි අනිත් පැත්තයි වෙලා තිබෙන්නේ.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදිත ලොකුබණ්ඩාර, මධ්‍යම පළාත් සභා එජනිස මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක වන එදිරිවීර වීරවර්ධන, තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, ජගත් විජේනායක, ගාමිණී විජයබණ්ඩාර, අනුරාධ ජයරත්න, චන්දන කඩවතමුදලි, ජගත් චන්ද්‍රරත්න යන මහත්වරුද මහනුවර නියෝජ්‍ය පුරපති සේන දිසානායක යන මහත්වරුද මෙහිදී කතා කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා