පන්සිල් සුරකින සමාජයක් බිහිවීම රට ගොඩනැඟීමේ පදනමයි

පන්සිල් සුරකින සමාජයක් බිහිවීම රට ගොඩනැඟීමේ පදනමයි

ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝහිත නාහිමි

මේ රට ගොඩ ගත හැක්කේ පන්සිල් සුරකින සමාජයක් නිර්මාණය කිරීමෙන් පමණකැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මෙන්ම ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝහිත මහ නාහිමි සඳහන් කරති.

උන්වහන්සේ එසේ සඳහන් කළේ පසුගිය 9දා රත්නපුර මුද්දූව ශ්‍රී සුමන පිරිවෙන් විහාරස්ථානයේ පැවැති උත්සව සභාවක් අමතමිණි.

ශශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වසර 150ක් පිරීම නිමිත්තෙන් කුළ දරුවන් 150 දෙනෙකු සසුන්ගත කිරීමේ දීප ව්‍යාප්ත සාසන සේවාවකට මුල පුරමින් එම විහාරස්ථානයේ දී සබරගමුවේ කුළ දරුවන් 30 දෙනෙකු සසුන්ගත විය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය 1863 ආරම්භ විය. එම නිකාය මේ වසරේ 150 වෙනි සංවත්සරය සමරන අතර මෙම පිංකම් මාලාව අවසන් වනවිට දිවයිනේ පළාත් 07 නියෝජනය කරමින් කුළ දරුවන් 150ක් සසුන් ගත කිරීම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අරමුණ යැයි උත්සවය ආරම්භයේ දී අනුශාසනාවක් කළ එම නිකායේ මහා ලේඛකාධිකාරි මාතලේ ධම්මකුසල නාහිමි පැවසූහ.

මේ අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක නාපාන පේමසිරි නාහිමිපානෝ උත්සව සභාව අමතමින් වචන දෙක තුනක කෙටි අනුශාසනාවක් කළහ.

උන්වහන්සේ සඳහන් කළේ සංඝයා වහන්සේ යනු මේ රටේ ප්‍රාණ ජීවය වැනිය. හිතුවක්කාර නොවන්න. ගුරු දෙගුරුන්ට අවනත වන්න. සංඝ සෝබන ගුණයෙන් සසුන බබළවන්නැයි උන්වහන්සේගේ කෙටි අනුශාසනාව විය.

මෙහිදී ඕමල්පේ සෝහිත මහනාහිමි සඳහන් කළේ මඟතොට නගරයේ බසයේ කොතෙකුත් භික්ෂූන් වහන්සේලා දක්නට ඇති බැවින් මේ රටේ ලක්ෂ සංඛ්‍යාත භික්ෂූන් වහන්සේ පිරිසක් වැඩ වසනු ඇතැයි යමෙකුට සිතිය හැකි බවය.

තායිලන්තයේ භික්ෂූන් වහන්සේ හාර ලක්ෂයක් වැඩ සිටිති. බුරුමයේ එම සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මවයි. එහෙත් අප රටේ භික්ෂූන් සංඛ්‍යාව 39708 නමකි. ඒ අතුරින් උප සම්පන්න සක්‍රීය භික්ෂූන් වහන්සේ සංඛ්‍යාව 16000ක් පමණ වේ.

එක් කෝටි හතළිස් පන් ලක්ෂයක් පමණ ලාංකීය ජනතාවගේ ආගමික හා ශාසනික අවශ්‍යතා ඉටු කිරීමට සිටින එම පිරිස ගිහියන් දස දහසකට එක් භික්ෂූන් වහන්සේ නමකටත් වඩා අඩු අනුපාතයකි.

මේ රට හදන්නට වැඩි වැඩියෙන් භික්ෂූන් වහන්සේලා පිරිසක් සිටිය යුතුයි. පුංචි පවුල රත්තරන් කියමන පසුපස දිවීමේ විපාක දැන් විඳිනවා. පුංචි පවුල පසුපස දිවීම මැටි වැඩ පිළිවෙළක්. රත්තරන් කියලා රැවටිලා තියෙන්නේ සරුවපිත්තල වැඩකට.

රට හදන්නට ජාතිය නඟන්නට පොහොසත් සංස්කෘතියක් මත සවිමත් ආර්ථිකයක් ගොඩ නඟන්නට නම් භික්ෂූන් වහන්සේ පෙන්වන මඟ යා යුතුයි. පන්සලත්, භික්ෂූන් වහන්සේත් අනාධිමත් කලක පටන් මේ රටත් ජන සමාජයත් රැක බලා ගත්තා. වගකිව යුත්තන් පන්සිල් නොරැක සෙස්සන්ට පන්සිල් රැකපල්ලා යැයි කී පමණින් මේ රට හදන්න බෑ. රට හදන්න නම් පළමුව වගකිව යුත්තන්ම පන්සිල් රකින්නට ඕනි. දෙමව්පියන්, රට වැසියන්, පාලකයින් මේ සියලු දෙනාම පංචසීලය රැකිය යුතුයි.

පන්සිල් රකින සමාජයක් වෙනුවෙන් කටයුතු කර අනතුරුව නිවන සාක්ෂාත් කළ යුතු යැයි ද සඳහන් කළ උන්වහන්සේ තමන් සතු උතුම්ම වස්තුව වන දරුවන් සසුනට පූජා කළ දෙමාපියන්ට තම ප්‍රණාමය පළ කරන බවද ඕමල්පේ සෝහිත නාහිමි වැඩිදුරටත් සඳහන් කළහ.

මෙහිදී ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවෙ ධම්මදින්න, මඩ්තියවෙල මේධාලංකාර, මකුළුවේ විමල, මාතලේ ධම්මකුසල, නැදගමුවේ විජය මෛත්‍රී, අකරැල්ලේ ප්‍රඥ්ඥාාවංශ යන නාහිමිවරුද අනුශාසනා සිදුකළ අතර රත්නපුර දිසාපති සුනිල් කන්නන්ගර, සබරගමු මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ සුනිල් ශාන්ත වීරසේකර මහත්වරුද සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා