සෞඛ්‍යයට අහිතකර කිරිපිටි නිෂ්පාදන හම්බන්තොටින් ඉවත් කෙරේ

සෞඛ්‍යයට අහිතකර කිරිපිටි නිෂ්පාදන හම්බන්තොටින් ඉවත් කෙරේ

විෂ රසායනික ද්‍රව්‍ය අඩංගුයැයි තහවුරු වී තිබෙන කිරිපිටි වර්ග සහ අධි සාන්ද්‍රීය ප්‍රෝටීන් අඩංගු ළදරු කිරිපිටි වර්ග වෙළෙඳපොළෙන් ඉවත් කිරීමේ කටයුතු හම්බන්තොට දිස්ත්‍රික්කය පුරාම ආරම්භ කර තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආහාර හා ඖෂධ පරීක්ෂක අජිත් ගොඩකන්ද මහතා කීය.

හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව් කරුණාරත්න මහතාගේ උපදෙස්මත දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ ජයසුන්දර මහාතගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් පළමු මෙහෙයුම තිස්සමහාරාම නගරයේදී පෙරේදා (10) සිදු කෙරිණි.

නගරයේ සියලුම කිරිපිටි අලවිකරණ වෙළෙඳසල් මෙම පරීක්ෂා කිරීමට ලක්කළ බව අජිත් ගොඩකන්ද මහතා කීය.

ලංකා කාර්මික තාක්ෂණික ආයතනය මගින් ඩී.ඩී.ඩී. නැමැති විෂ රසායනික ද්‍රව්‍යය අඩංගු බවට තහවුරු කරන ලද කිරිපිටි අඩංගු කාණ්ඩ අළෙවිකිරීමට ඉඩ නොදී ඒවා මුද්‍රාකිරීමටත්, අධිසාන්ද්‍රිය ප්‍රෝටීන් අඩංගු ළදරු කිරිපිටි වර්ගද මුද්‍රාතබා සාම්පල් වෛද්‍ය රසායනාගාරය වෙත යැවීමටත් කටයුතු කරන බව ගොඩකන්ද මහතා කීය.

කතරගම ඇසළ උත්සවය නිමිත්තෙන් තිස්සමහාරාමය සහ කතරගම යන ප්‍රදේශවල මුලින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් පසුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රදේශවල ඉදිරියේදී මෙම පරීක්ෂාකිරීම් සිදුකරන බවද අජිත් ගොඩකන්ද මහතා කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා