ලෝක ජල දින සැමරුම මෙවර අනුරාධපුරයේ දී

ලෝක ජල දින සැමරුම මෙවර අනුරාධපුරයේ දී

ලෝක ජල සමුළුව මෙවර අනුරාධපුරයේ පැවැත්වීමට රජය මගින් ගෙන ඇති තීරණය මුළු මහත් රජරට ජනතාවටම දක්වන ලද මහා ගෞරවයක් වන අතර ඒ සඳහා සමස්ත රජරට ජනතාවගේත් පෞද්ගලිකව තමාගේත් ප්‍රසාදය හා ප්‍රණාමය ජනපතිතුමාටත් රජයටත් පිරිනමන බව උතුරුමැද ප්‍රධාන මහ ඇමැති අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

මහ ඇමැතිවරයා එම විශේෂ ප්‍රකාශය කළේ ලෝක ජල සමුළුව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ හමුවක දීය.

උතුරු මැද පළාත් සභාව හා ජාතික ජල සම්පාදන හා ජල පවාහන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන මේ ලෝක ජල සමුළුව මේ මස 16-17- 18 යන තෙදින තුළ සාක් රටවල විදේශ අමාත්‍යවරයාගෙන් හා බටහිර රටවල විදේශ නායකයින්ගේද සහභාගීත්වයෙන් ආර්ථික කටයුතු ඇමැති බැසිල් රාජපක්ෂ හා ජාතික ජල සම්පාදන හා ජලා පවාහන ඇමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.

තවද රජරට පළාතේ දැනට පැතිර යන වකුගඩු නිවාරණය කර ගැනීම සඳහා පැමිණෙන ලෝක නායකයින්ගේ අවධානය යොමු කරවීම හා නව ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මේ සමුළුව විශේෂ පිටුවහලක් වන බවද මහ ඇමැතිවරයා පැවසීය.

එසේම අනුරාධපුර ශික්ෂණ රෝහල ප්‍රධාන කැබිතිගොල්ලෑව වැනි ප්‍රදේශවල රෝහල් ද නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් ලබා දී මේ වකුගඩු රෝග නිවාරණය කරගැනීමට විදේශ නව තාක්ෂණ ක්‍රමවේදයන් ලබා ගැනීමට ද මේ තුළින් තමා අදහස් කරන බවද කීය.

රජරට පළාතට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක් වන මේ තුලින් උපරිමය ප්‍රයෝජන ගන්නා ලෙසට තමා සෑම සියලු දෙනාටම විවෘත අරාධනයක් නිහතමානීව කරන බවත් මෙහි දී යහපත් මෙන්ම වගකීම් සහිත කාර්ය භාරයක් මාධ්‍ය තුළින් ඉටුවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද මහ ඇමැතිවරයා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා