කදිරගාමර් පිළිරුව ජනපති අතින් විවෘත වේ

කදිරගාමර් පිළිරුව ජනපති අතින් විවෘත වේ

කෘතහස්ත දේශපාලනඥයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ පිළිරුව ඒ මහතාගේ අට වැනි ගුණ සමරුව යෙදෙන අද (12) දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කෙරේ.

කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලද කදිරගාමර් මහතා‍ සිහිකරමින් කොළඹ, හෝර්ටන් පෙදෙසේ පිහිටි

ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා සහ ක්‍රමෝපායන් අධ්‍යයන ආයතනයේ මෙම පිළිරුව ස්ථාපිත කර ඇත. ජනාධිපතිවරයාගේ උපදෙස් මත විදේශ කටයුතු පිළිබඳ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ මූලිකත්වයෙන් මෙම පිළිරුව ස්ථාපිත කෙරිණ.

ත්‍රස්තවාදයට ‍එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සුවිසල් මෙහෙවරක් ඉටු කළ ලක්ෂ්මන් කදිරගාමර් මහතා 2004 වසරේ සිට 2005 වසර දක්වා මෙරට විදේශ අමාත්‍ය ධූරය හෙබවීය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි සිසුවකු වන කදිරගාමර් මහතා ලංකා විශ්වවිද්‍යාලයෙන් 1953 වසරේදී නීතිවේදය පිළිබඳ ගෞරව උපාධිය හිමිකර ගත්තේය. පාසල් සමයේ මෙන්ම විශ්වවිද්‍යාලයේදීත් අති දක්ෂ ක්‍රීඩකයකු ලෙස නමක් දිනා සිටි කදිරගාමර් මහතා මලල ක්‍රීඩා සහ රගර් සඳහා සුවිශේෂී දස්කම් පාමින් සම්මාන හිමිකර ගත්තෙකි.

වර්ෂ 1955දී නීතිඥයකු ලෙස දිවුරුම් ‍දුන් ඒ මහතා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍යවේදී උපාධිය දිනා ගත් අතර ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපති ධූරයට පත් දෙවැනි ශ්‍රී ලාංකිකයා ලෙස තේරී පත් විය. එම ධූරයට පත් වූ පළමු වැන්නා තවත් කෘත‍හස්ථ දේශපානඥයකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතාය.

ජාත්‍යන්තර සංවිධාන රැසක ඉහළ පෙළේ තනතුරු ඉසිලූ කදිරගාමර් මහතා වෙසක් පොහොය දිනය ජාත්‍යන්තර නිවාඩුවක් බවට පත් කිරීමට පුරෝගාමී විය. කොටි සංවිධානය ජාත්‍යන්තරයේ තහනම් කිරී‍මෙහි ලා සුවිසල් මෙහෙවරක් ඉටු කළ ඒ මහතා 2005 වසරේ අගෝස්තු මස 12 වැනි දින කොටි ස්නයිපර්කරුවකුගේ ගොදුරක්ව අවසන් හුස්ම හෙළුවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා