ඌවේ පාසල් නඟා සිටුවීමට සියලු පහසුකම් ලබා දෙනවා

ඌවේ පාසල් නඟා සිටුවීමට සියලු පහසුකම් ලබා දෙනවා

- මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්‍ෂ

ඌව වෙල්ලස්ස දරුවන්ට පාසල් අධ්‍යාපනය සාර්ථකව අවසන් කිරීම සඳහා වන සියලුම පහසුකම් සලසමින් පාසල් වැඩි දියුණුකරන බව ඌව පළාත් මහ ඇමැති රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ශෂින්ද්‍ර කුමාර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඉකුත් 10 වැනිදා පෙරවරුවේ ඌව පළාතේ පාසල්වලට අලුතෙන් පත් කළ ස්්ථිර මුරකරුවන් පනස් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරෙමින් මහ ඇමැතිවරයා එසේ කීය. කතරගම ශ්‍රී අභිනවාරාමයේ ශශ්‍රී ආයුපාල නාහිමි අනුස්මරණ ධර්ම ශාලාවේ ස්ථාපිත කොට ඇති කතරගම ඇසළ උත්සව ජනාධිපති මෙහෙයුම් කමිටු මධ්‍යස්ථානයේ දී මේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු විය.

එහිදී වැඩිදුරටත් කතා කළ ශෂින්ද්‍ර කුමාර රාජපක්ෂ මහතා, මේ වන විට පළාතේ පාසල්වල වැඩි දියුණුවක් සිදුකොට තිබෙනවා. කතරගම ජනාධිපති ජාතික පාසලේ ප්‍රාථමික අංශය පාසල ඉදිරිපිට ඉඩමක ගොඩනැගිලි තනා අලුතෙන් ආරම්භ කළා. දැනට විද්‍යාලය ඉතා දර්ශනීය අන්දමට දැක ගන්න ලැබෙන සෑම කෙනෙකුම ප්‍රශංසාව පළ කරනවා. ඌව පළාතේ පාසල් සිසුන්ට පහ වසර, අ.පො.ස (සාමාන්‍ය පෙළ), උසස් පෙළ දක්‍ෂ ගුරුවරුන් කැඳවාගෙන විත් නොමිලේ සම්මන්ත්‍රණ පැවැත්වීම සෑම වසරක දීම මහා පරිමාණයෙන් සිදුකරනවා. දරුවන්ට පාසල් අධ්‍යාපනය සහ සරසවි අධ්‍යාපනය ලැබීමට ආර්ථික අපහසුතා බාධාවක් බවට පත් වීමට ඉඩ තියන්නේ නැහැ. අධ්‍යාපනය ලබා උපාධි ලබා ගන්නා පිරිස්වලට රැකියා ලබා දීම ප්‍රමාදයකින් තොරව සිදු කරනවා. මෙවර උපාධිධාරීන් 500 කට ආසන්න ප්‍රමාණයකට පළාත් සභාව යටතේ ස්ථිර පත්වීම් ලබා දුන් බව රාජපක්ෂ මහතා පැවසීය.

ශ්‍රී අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුව ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති කපුගම ශි‍්‍ර සරණතිස්ස නාහිමියෝ, ඌව පළාතේ පාසල් අධ්‍යාපනය මෙන්ම දහම් පාසල් අධ්‍යාපනය නඟා සිටුවීමට ද මහ ඇමැතිතුමා විශේෂ අවධානයක් යොමු කොට ක්‍රියා කරනවා. ශ්‍රී අභිනවාරාම දහම් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 2000කට ආසන්න වෙනවා. මෙම දහම් පාසලේ ඉගෙනුම ලබන දරුවන්ට සහ කතරගම ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල ප්‍රදේශයේ දහම් පාසල් වල ඉගෙනුම ලබන සියලුම දරුවන්ට දිවා ආහාරය සහ තවත් ප්‍රතිලාභ මහ ඇමැතිතුමාගේ මැදිහත්වීම මත ලැබෙන බව නාහිමියෝ සඳහන් කළහ.

විහාරාධිකාරී රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කොග්ගල්ලේ විජිත හිමියෝ ද ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඇසළ උළෙල ජනාධිපති මෙහෙයුම් කමිටුවේ ප්‍රධානී පද්මසිරි රාජපක්ෂ මහතා ද අදහස් දැක්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා