රට බඩු ගැන සොයන්න අන්තර් අමාත්‍යාංශ කමිටුවක්

රට බඩු ගැන සොයන්න අන්තර් අමාත්‍යාංශ කමිටුවක්

වස විස බෑ; පරිසර හානි බෑ; ප්‍රමිතියත් ඕනෑ

විදේශ රටවලින් ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය, ඖෂධ, සුවඳ විලවුන් ඇතුළු අනෙකුත් පාරිභෝගික භාණ්ඩ වස විසවලින් තොර දැයි නිරීක්ෂණය කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ පරීක්ෂණ කමිටුවක් ඇති කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

සෞඛ්‍ය, කෘෂිකර්ම, විද්‍යා හා තාක්ෂණ, වෙළඳ හා පාරිභෝගික කටයුතු, පරිසර අමාත්‍යාංශ ඒකාබද්ධ කර ‍අන්තර් අමාත්‍යාංශ කමිටුව පිහිටුවන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් මතු වූ ගැටලුවත් සමඟ ඉදිරි කාලයේදී ආනයනික ආහාර සම්බන්ධයෙන් මෙවැනි ගැටලු මතුවීමේ අවදානමක් පවතින නිසා මේ තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙරට ජීවත්වන සියලුම ජනතාවට ඉතා සංවේදී ලෙස දැනෙන ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විදියට තනි තීරණයක් ගන්නවාට වඩා අමාත්‍යාංශ ඒකාබද්ධ වී රටක් විදියට තීරණ ගැනීම වඩාත් වැදගත් වන බව ද ඇමැතිවරයා කීය.

අන්තර් අමාත්‍යාංශ කමිටුව පත් කිරීම සඳහා වූ යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස් කරන ලෙස ඇමැතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ද ලබාදී ඇත.

මත භේදයට තුඩු දුන් ආනයනික කිරිපිටි වෙළඳපොළෙන් ඉවත් කිරීමට අඳාළ සමාගම කටයුතු කර ඇත.

එම කිරිපිටි තොග නැවත වෙළඳපොළට පැමි‍ණියහොත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අඳාළව දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන ඇත.

කීර්ති නාමයක් තබා ඇති ‍අඳාළ කිරිපිටි සමාගම එවැනි කටයුත්තක් නොකරනු ඇති බවට අමාත්‍යාංශයේ විශ්වාසයක් පවතින බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා