හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම් අවසන් අදියරේ

හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම් අවසන් අදියරේ

හම්බන්තොට නව නගරය කේන්ද්‍ර කරගනිමින් ආසන 1500කින් සමන්විත මෙරට විශාලතම ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතී.

ඉදිකිරීම් නිමවෙමින් පවතින හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

අක්කර 27.67ක මෙම සම්මන්ත්‍රණ ශාලාව ඉදිකෙරේ. වර්ග මීටර් 8081 කින් සමන්විතව මහල් තුනකින් ඉදිකර තිබෙන මෙම සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන ශාලාවේ එක්වර 1500කට අසුන්ගත හැකිවන අතර තවත් 1500කට අසුන්ගත හැකි කුඩා ප්‍රමාණයේ සම්මන්ත්‍රණ ශාලා 10 කින් සමන්විත වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂක ආනන්ද සමරසිංහ මහතා කීය.

අවශ්‍යතාව මත එම සම්මන්ත්‍රණ ශාලාවල ඉඩකඩ වෙනස් කිරීමට හැකිවන ලෙසට ඉදිකිරීමද විශේෂත්වයකි. 5000කට එක්වර නැරඹිය හැකි එළිමහන් රංග පීඨයක්ද සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඉදිවෙමින් පවතින බවද ආනන්ද මහතා කීය. හෙලිකොප්ටර් දෙකක් ගොඩබෑම සඳහා ස්ථාන දෙකක්ද සකසා තිබෙන අතර, කාර් 670ක්, බස් 12 ක්, යතුරුපැදි 250ක්, ත්‍රිරෝද රථ 150ක් සහ හෙලිකොප්ටර් යානා හතක් නතර කර තැබිය හැකි රථගාලක්ද මෙහි ඉදිකරන බව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා කීය.

සම්මන්ත්‍රණ ශාලාවේ ඉහළ කොටසේ ප්‍රධාන ආපනශාලාවක් සැකසෙන අතර ප්‍රධාන අමුත්තන් සඳහාත් සෙසු අය සඳහාත් තවත් ආපනශාලා පිහිටුවා තිබේ. අති නවීන තාක්ෂණයෙන් යුතුව ශබ්ද, ආලෝක සහ වීඩියෝ මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක කෙරේ.

වැසි ජලය එක්රැස් කිරීමට හැකි විශාල ප්‍රමාණයේ භූගත ජල ටැංකියක්ද ඉදිකර තිබෙන අතර, සූර්ය බලශක්තිය යොදා ගනිමින් කොටසකට විදුලි ආලෝකය ලබාදීමද සිදුකෙරෙන බව ආනන්ද මහතා කීය.

මේ වසරේ අගදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුව සඳහා හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීමට හැකිවන බවද ආනන්ද සමරසිංහ මහතා කීය.

කොරියන් රජයේ ණය ආධාර සහ මෙරට මුදල් ආයෝජනය මඟින් නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය හා උපදේශකත්වය යටතේ ඉදිකිරීම් සිදුකෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා