නඩත්තුවක් නැති විදුලි වැටවල් බලගැන්වීම කඩිනමින් අරඹයි

නඩත්තුවක් නැති විදුලි වැටවල් බලගැන්වීම කඩිනමින් අරඹයි

දිගු කලක් නඩත්තුවකින් තොරව පැවැති වනජීවී දෙපාර්තමේන්තුවට අයත් විදුලිවැට පද්ධති යළි බලගැන්වීමේ සංවර්ධන ව්‍යාපෘතියක් අමැති ගාමිණී විජිත් විජයමුණි මහතාගේ උපදෙස් මත දියත්කොට තිබේ.

මේ සඳහා සිවිල් ආරක්ෂක බළකායේ පූර්ණ අනුග්‍රහය ලබාදී ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව, ශ්‍රාවස්තිපුර , උලුක්කුලම, කොරකහවැව, ඇතුළු ප්‍රදේශ ගණනාවක ගම්වදින වනඅලි විල්පත්තුව රක්ෂිත ප්‍රදේශවලට කොටු කිරීමේ කිලෝමීටර් 95ක් දිගින්් යුතු විදුලිවැටේ ඉදිකිරීමේ වැඩ කඩිනම් කිරීමට මේ යටතේ පියවර ගෙන තිබේ.

2012 අනුරාධපුර “දැයට කිරුළ” සංවර්ධන වැඩපිළිවෙළ යටතේ මේ විල්පත්තුව විදුලි වැට ඉදිකිරීම් ආරම්භ වූ අතර එහි වැඩ කළක් මුළුල්ලේ අතරමඟ නවතා දමා තිබුණි.

මෙයට අමතරව නාච්චාදූව මොරගොඩ ඔස්සේ කිලෝමීටර් 80ක නව විදුලි වැටක් ඉදිකිරීම සඳහා අවශ්‍ය උපකරණ ඇතුලු ඉදිකිරීමේ ද්‍රව්‍ය සියල්ල මේ වනවිට සපයා දී ඇති අතර වන ජීවී නිලධාරීන් හා ගම්වාසීන්ගේ ද සහය ඇතිව මේ විදුලි වැට ඉදිකිරීමේ කටයුතු ඉදිරි සති කීපය තුළ සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් විසින් ආරම්භ කිරීමට නියමිතය .

මෙයට අමතරව කලක් තිස්සේ මුළුගැන්වී තිබූ කලාවැව උතුර කිලෝමීටර් 10 ක් දිගැති විදුලි වැට කිලෝමීටර් 24 දක්වා දීර්ඝ කිරීමේ කටයුතු ආරම්භ කිරීම පිළිබඳව විමර්ශන කටයුතු දැනට සිදුකෙර්.

යෝජිත විදුලි වැට ඉදිකිරීමේ දී එම සීමාවන්හි පදිංචි අනවසර පවුල් ඉවත්කිරීම සඳහා පියවර ගත යුතුව ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර වසර හත අටක් තිස්සේ අතරමග නවතා දමා තිබූ මොනරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල, වැල්ලවාය විදුලි වැට ඉදිකිරීමද පසුගියදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ආරම්භ කර තිබේ.

මෙය කිලෝ මීටර් 46ක් දිගින් යුක්තය. විල්පත්තුව තණමල්විල නාච්චදූව හා කලාවැව උතුර විදුලි වැට ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 125 මුදලක් වැය කෙරෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා