විදෙස් බලවේග පරදවන්න ජනතාව නැඟී සිටිය යුතුයි

විදෙස් බලවේග පරදවන්න ජනතාව නැඟී සිටිය යුතුයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරි වසර කිහිපයේ දී මේ රට පූර්ණවශයෙන් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර ඒ යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා පැවැසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා එසේ පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා

ඉඩම් සහ පොලිස් බලතල ඉවත්කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ යටතේ රටේ ඉදිරි ආරක්ෂාව වෙනුවෙන් තීරණ ගෙන විදෙස් බලවේග පරදවන්න ජනතාව ඉදිරියට ආ යුතුයි. මෙවර පළාත් සභා මැතිවරණය රටට වඩා වැදගත් වන මැතිවරණයක්. උතුරට ඉඩම් සහ පොලිස් බලතල ලබාදිය යුතු බවට විදේශ රටවලින් පවා බලපෑම් එල්ල වන අවස්ථාවක පළාත් සභාවේ බලය ශක්තිමත් කර ගැනීම මඟින් ඒකීය රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි ආරක්ෂාව තහවුරු කර ගත හැකි මැතිවරණයක් මෙවර පැවැත්වෙන්නේ .

මධ්‍යම පළාත් සභා මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් සිය පක්ෂයේ නාම යෝජනා පත්‍ර මැතිවරණ කාර්යාලයට ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් මහා සංඝරත්නය පිරිත් දේශනා මැද මේ කාර්යාලය විවෘත කරනවා.

අතීතයේ පැවැති මැතිවරණවලට වඩා මෙවර මැතිවරණය අපට වඩාත් වැදගත් වෙනවා. ඒ වෙන කිසිවක් නිසා නොව අප රටට උදා කරගත් සාමය ආරක්ෂා කර ගත යුතු නිසයි. උතුරට ඉඩම් සහ පොලිස් බලතල ලබා දී ශ්‍රී ලංකාවේ වෙනම ප්‍රාන්තයක් නිර්මාණය කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහය කඩ කිරීමටයි අප උත්සාහ කරන්නේ. ඒ වෙන කිසිවක් නිසා නොව අපගේ රට ආරක්ෂාකර ගැනීමේ අරමුණෙන්.

ඇතැමුන් එක්සත් ජාතික පක්ෂයට දහස් ගණනින් ඡන්දය ලබාදුන්නත් ඡන්දය ලබා පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරු රැසක් මේ වනවිට සිටින්නේ ආණ්ඩු පක්ෂයේයි. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඡන්දය ලබාදුන්නත් රජයේ සාර්ථක වැඩපිළිවෙළට සහයෝගය දැක්වීම සඳහා මේ වනවිට බොහෝ දෙනෙක් රජයට එක්ව සිටිනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා