මාතලේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරනවා

මාතලේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරනවා

බන්දුල යාලේගම (එජනිස)

පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කිරීමට කණ්ඩායම් නායකයා ලෙස පක්ෂයේ සෑමදෙනා සමඟ සමගියෙන් සාමයෙන් කටයුතු කරනවා. මාතලේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය මෙවර විජයග්‍රහණයක් වනවාට සිකුරුයි. ඒ ගැන කිසිම සැකයක් නෑ. මෙවර මධ්‍යම පළාත් සභාව පිහිටුවන්නේත් අපම යැයි රත්තොට ශ්‍රීලනිප සංවිධායක මධ්‍යම පළාත් සභාවේ හිටපු ඇමැති හා කණ්ඩායම් නායක බන්දුල යාලේගම මහතා පැවැසීය.

ඒ මහතා එසේ කීවේ මධ්‍යම පළාත් සභා මැතිවරණයේ මාතලේ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලබාදීමෙන් පසුව රත්තොට නගරයේ ජනතාව සංවිධානය කළ පිළිගැනීමේ උත්සවයකට සහභාගි වෙමිනි. රත්තොට, මාතලේ, උකුවෙල හා අඹන්ගඟකෝරළේ විශාල ජනතාවක් මේ අවස්ථාවට සහභාගි වූහ.

බන්දුල යාලේගම මහතා මෙසේද පැවැසීය.

ගම්දනව්වල ජල විදුලිය මාර්ග කාපට් කිරීම ඇතුළු පොදු ජන සේවා අති විශාල ප්‍රමාණයක් සිදුකළා. ජනතාව එයින් සෑහීමට පත්වී සිටිනවා.

මැතිවරණයට අපට ප්‍රතිපාක්ෂිකයන් නැහැ. එකම බලවේගය වී ඇත්තේ ජනතාව එජනිස වටා ඒකරාශි වී සිටීමයි. අපේ ජය සිකුරුයි. ඒ ගැන කිසිදු සැකයක් නැහැ.

රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා එජනිස පළාත් සභා අපේක්ෂක ටී. ඩී. ජයතිස්ස මහතා - අපි කවදත් මැතිවරණ සටන් දිනුවා. වසර 22ක් ප්‍රාදේශීය සභාව ජයගෙන ප්‍රදේශයට නගරයට ගමට අවංකව වැඩ කළා. මේ ජයග්‍රාහී ගමන යන්නේ බන්දුල යාලේගම ආසන සංවිධායකතුමා සමඟයි. එතුමා දෙන සහයෝගය නිසා අද විශාල පිබිදීමක් ඇති වී තිබෙනවා. ඒ නිසා අප වටා ජනතාව රොද බඳින්නේ අපේ ජය සහතික කිරීමටයි.

උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ධර්මසේන, උකුවෙල ප්‍රාදේශීය සභාවේ උප සභාපති එච්. එම්. හකීම් යන මහත්වරුද මෙහිදී කතා කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා