මන්චි ජාතික ශූරතාවලියට වොලිබෝල් කණ්ඩායම් 4500ක්

මන්චි ජාතික ශූරතාවලියට වොලිබෝල් කණ්ඩායම් 4500ක්

තරගාවලිය 18දා ගලගෙදරින් ඇරැඹේ

සීමාසහිත සිලෝන් බිස්කට් සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් 7වැනි වරටත් පැවැත්වෙන මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය මේ 18 වැනිදා ගලගෙදරින් ආරම්භ කෙරේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් ආරම්භවන කළාප තරග ජයග්‍රාහකයෝ දිස්ත්‍රික් හා ජාතික මට්ටම දක්වා රැගෙන ඒම මන්චි ජාතික වොලි‍බෝල් තරගාවලියේ විශේෂත්වය වේ. එම තරගාවලියට සමගාමීව කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වන සුපර් ලිග් තරගාවලියක්ද පැවැත්වේ.

මෙවර මේ අංශ දෙකේම ශූරතා දිනන පිරිමි හා කාන්තා කණ්ඩායම් හතරට රුපියල් ලක්ෂ දෙක බැගින් පිරිනැමීමට සිලෝන් බිස්කට් ආයතනය කටයුතු යොදා ඇත.

ජාතික වොලිබෝල් ශූරතාවලියට කණ්ඩායම් 4500ක් පමණ සහභාගීවනු ඇතැයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවැසීය. ජාතික වොලිබෝල් ශූරතාවලිය පිළිබඳව බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමැතිවරයා පැවැසුවේ උතුරු-නැඟෙනහිර ප්‍රදේශවලින් ඉතිහාසයේ මුල්වරට වැඩිම කණ්ඩායම් ගණනක් සහභාගීවන බවයි.

“වොලිබෝල් ඉතිහාසයේ මුල්ම ජාතික ශූරතාව දිනාගෙන ඇත්තේ උතුරු පළාත් කණ්ඩායමක්. ත්‍රස්තවාදී ක්‍රියා නිසා උතුරේ ක්‍රීඩාව අඩපන වුනත් දැන් ඉදිරියට එන වාතාවරණයක් තිබෙනවා. මේ වසරේ ජාතික ශූරතාවලියේදී එම පළාත්වලින් වෙනදාට වඩා වැඩි පිරිසක් එක්වන බව විශ්වාසයි” ඇමැතිවරයා ‍පැවැසීය.

ජාතික වොලිබෝල් ශූරතාවලියේ අනුග්‍රාහකත්වය මන්චි ආයතන‍ය පිරිනමන්නේ ව්‍යාපාරික වාසියක් වෙනුවෙන්ම නොව ජාතික වැදගත්කමක් සලකා බව සිලෝන් බිස්කට් සමුහ අධ්‍යක්ෂ නන්දන වික්‍රමගේ මහතා පැවැසීය. ශ්‍රී ලාංකිකයන් ලෙස සෑම අංශයකින්ම ඉදිරියට යෑමේ දායකත්වය තම ආයතනය ලබාදීමට සුදානම් බව වික්‍රමගේ මහතා පැවැසිය.

පසුගිය වසරේදී මන්චි ජාතික වොලිබෝල් සුපර් ලීග් කාන්තා ශූරතාව ගුවන් හමුදාවට හා පිරිමි ශූරතාව නුවර යුද හමුදා පිලට හිමිවිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා