මුද්‍රණය සඳහා

 
කලාව තුළින් ලෝකය දකින්න දරුවාට ඉඩ දෙන්න

කලාව තුළින් ලෝකය දකින්න දරුවාට ඉඩ දෙන්න

ශ්‍රියන්ත මෙන්ඩිස්

රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති

ප්‍රතිභාපූර්ණ රංගධරයකු ලෙස ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ විවිධ භූමිකා සමඟ දශක හතරකටත් වඩා වැඩි කාලයක් ගත කළ ඔහු, වේදිකාව, සිනමාව හා රූපවාහිනිය යන මාධ්‍ය ත්‍රිත්වයටම සිය අභිමානවත් රංගන පෞරුෂය තිළිණ කළේය. සාමාන්‍ය මිනිසාට පෙර කලාකරුවා ලොව දකී යන ඔහුගේම වදන් සත්‍යයක් කරමින් මේ වනවිට රාජ්‍ය නාට්‍ය අනුමණ්ලඩයේ සභාපති ලෙස කටයුතු කරන ශ්‍රියන්ත මෙන්ඩිස් මේ දිනවල ජෝන්ද සිල්වා සමරු රගහලේදී පැවැත්වෙන රාජ්‍ය ළමා නාට්‍ය උළෙල පිළිබඳ මෙසේ අප හා අදහස් පළ කළේය.

රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අරමුණ හා වැදගත්කම පිළිබඳ පැහැදිලි කළහොත්?

දරුවන් සඳහා වන ඉහළම රාජ්‍ය උත්සවයක් ලෙස රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සැලකිය හැකියි. මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මේ දිනවල කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පස්වරු 5 සිට පැවැත්වෙනවා. එය ආරම්භ කළේ මේ මාසේ පළවෙනිදා. මේ මස 15 වැනිදා දක්වාම මේ නාට්‍ය උළෙල පැවැත්වෙනවා.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක්වයි මේ නාට්‍ය උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නේ. ශ්‍රී ලංකාවේ උතුරු, දකුණු පළාත් ඇතුළු සතර දිග්භාගයම නියෝජනය වන පරිදි නව නිර්මාණකරුවන් මේ නාට්‍ය උළෙල සඳහා සහභාගි වනවා.

ළමා නාට්‍ය කලාවේ ප්‍රගමනය උදෙසා රාජ්‍ය ළමා නාට්‍ය උළෙල ඉතා වැදගත් වනවා වගේම මෙවර ළමා නාට්‍ය උළෙල හරහා ඉතා විශිෂ්ට නාට්‍ය කෘති මෙන්ම ඉතා දක්ෂ අංකුර නාට්‍යවේදින් රැසක් ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට දායාද වනවා.

මේ උළෙල වැදගත්කම වන්නේත් එයයි. මෙරට නාට්‍ය කලාවේ හෙට දවස රැඳී තිබෙන්නේ මේ අංකුර නාට්‍යවේදීන් අත. රාජ්‍ය නාට්‍ය උළෙලේදී සම්මාන ලබනවා කියන්නේ මේ නවක නිර්මාණකරුවන් විශාල දිරිගැන්වීමක් හා අගැයීමක්.

මෙවර නාට්‍ය උළෙල සඳහා සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම නාට්‍ය ඇතුළත් වනවා. මෙයින් අදහස් වන්නේ කුමක්ද?

මෙවර ළමා නාට්‍ය උළෙලේ විශේෂත්වය වන්නේ එයයි. මෙහිදී අවසාන වටය නියෝජනය කරමින් උතුරු, දකුණු පළාත් ඇතුළු දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි සිංහල, දමිළ, ඉංග්‍රිසි ළමා නාට්‍ය 57ක් එකම වේදිකාවක රඟ දක්වනවා.

ඇත්තෙන්ම මෙහි සඳහන් කළයුතු විශේෂම දේ වන්නේ මේ උළෙලක් එක්ක උතුරත්, දකුණත් එක්කොට තැනෙන සංස්කෘතික පාලම. වසර ගණනාවක් තිස්සේ පැවැති යුද්ධය නිසා අපට අහිමි වුණේ මිනිස් ජීවිත හා දේපළ විතරක් නොවෙයි.

අපේ දරුවන්ගේ සුන්දර ළමා ලෝකය, එකිනෙකා අතර තිබිය යුතු සහෝදරත්වය සහජීවනය, ජාතින් අතර එකමුතු බව මේ හැම දේම යුද්ධය අපට අහිමි කළා. උතුරු, නැඟෙනහිර අපෙන් ඈත් වෙලා තිබුණේ. සමාජ, ආර්ථික සංස්කෘතික අංශ තුනෙන්ම උතුරු, නැඟෙනහිර ජනතාව සමඟ ගනුදෙනු කිරීමේ අවස්ථාව අපට නැති වෙලයි තිබුණේ.

උතුරේ දරුවන්ගේ කලා කුසලතා, හැකියා දකුණේ දරුවෝ එක්ක බෙදා හදාගන්න, ඔවුන්ගේ හදවත්වලට ආමන්ත්‍රණය කරන්න මේ නාට්‍ය උළෙල හරහා අවස්ථාව ලැබෙනවා. ඉතිහාසයේ අඳුරු සෙවණැලිවලින් ඈත්වෙලා, පැහැබර අනාගතයක සුබ ලකුණු අපට දැන් දැක ගන්න පුළුවන්.

සෑම ජාතියකම අනන්‍යතාවය රැකෙන පරිදි අන්‍යෝන්‍ය සහජීවනය, එකමුතු බව, සමගිය විදහා දැක්වෙන තෝතැන්නක් ලෙසට මෙවර ළමා නාට්‍ය උළෙල හඳුන්වන්න පුළුවන්. සැඟවිලා තිබුණු උතුරු හා නැඟෙනහිර පළාත්වල දරුවන්ගේ නිර්මාණ හැකියා ලොවට විදහාපාන්න වගේම ඒ කුසලතා ඔප්නංවා ගැනීමටත් මේ වේදිකාව මනා පිටිවහලක් සපයාවි.

ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ දරුවන්ට වෙන්කර ඇති ඉඩ ප්‍රමාණවත්ද?

මගේ විශ්වාසයේ හැටියට දරුවන්ගේ නිර්මාණ සඳහා තිබූ ඉඩකඩ ප්‍රමාණවත් නැහැ කියලයි මට හිතෙන්නේ. දරුවන් සඳහා කියු ඇතැම් නිර්මාණ තුළ පවා දරුවන්ට සුදුසු කලාත්මක බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.

දරුවන්ගේ නව කලා නිර්මාණ එළි දැක්වීමට, ඔවුන් දිරිගැන්වීමට හා ඔවුන් ඉදිරියට ගෙන යන්න විධිමත් වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. මෙය නොසලකා හැරීමක්ද කියලාත් ඇතැම්විට හිතෙනවා. කලින් ළමා නාට්‍ය, ළමා නාට්‍ය උළෙලට පමණක් සීමා වුණා. ඇතැම් අවස්ථාවල ළමා නාට්‍ය කලාව තුළ පැහැදිලි පසුබෑමක් දක්නට ලැබුණා. නිර්මාණය වුණු නාට්‍යවල පවා ශක්තිමත් බවක් තිබුණේ නැහැ.

ප්‍රධානම ගැටලු තමයි ජංගම ළමා නාට්‍ය හා දිගු නාට්‍ය, නාට්‍ය උළෙලින් පසු ප්‍රදර්ශනය කරන්න තැනක් නොමැති වීම. ප්‍රදේශවල හෝ නගරවල මේ නාට්‍ය පෙන්වන්න නොලැබීම හරහා නිර්මාණකරුවාගේ නිර්මාණවල දැවැන්ත භාවය හෙළිවන ප්‍රේක්ෂකාගාරය අහිමි වනවා. ප්‍රේක්ෂකාගාරයෙන් එන අත්පොළසන් හඬයි. ඔවුන්ව ඉදිරිය අරගෙන යන්නේ. එය අහිමිවීම විශාල අඩුවක්.

රාජ්‍ය ළමා නාට්‍ය උළෙල කේන්ද්‍ර කර ගනිමින් පවත්වන නාට්‍ය, නාට්‍ය උළෙලට පමණක් සීමා වනවාද?

නාට්‍ය අනුමණ්ඩලයේ කාර්යභාරය සීමිත වපසරියක් තුළ අසීමිත කාර්යභාරයක් ඉටු කරන සංවිධානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. නාට්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් රජයෙන් ලබාගත හැකි දේ පිළිබඳවත් නාට්‍ය කලාවේ ප්‍රගමනය වෙනුවෙන් හඬක් නැඟිය හැකි ලෙසත්, නව නාට්‍යකරුවන්ට ඉදිරියට පැමිණිය හැකි ආකාරයට ඔවුන්ගේ අනාගතය සකස් කළ හැකි වැඩපිළිවෙළක් නාට්‍ය අනුමණ්ඩලය සතුයි.

ළමා නාට්‍යවලට පමණක් නොවෙයි, කෙටි නාට්‍ය, දීර්ඝ නාට්‍ය ඇතුළු සමස්ත නාට්‍ය කලාවේ වර්ධනයට මෙතැනින් එහාට ගිය ක්‍රියාවලියක් අවශ්‍ය බව රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය අවබෝධ කර ගෙන තිබෙනවා. ඒ අනුව මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ ඇගැයීමට ලක්වන නාට්‍යය නැවැත පාසල්වල පෙන්වීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ වගේම ජයග්‍රහණය කරන නාට්‍ය ජාතික රූපවාහිනියේ විකාශය කිරීමටත් සූදානම්. ඒ සඳහා දිනයක් හා වේලාවක් දැනටම වෙන්වෙලා තිබෙනවා. ඒ අනුව මේ නාට්‍ය නාට්‍ය උළෙලට පමණක් සීමා නොවී පාසල්, ප්‍රදේශ හා ෂද්‍යුත් මාධ්‍ය හරහා රටටම පෙන්වන්න අවකාශය ලබාදී තිබෙනවා. ඒ තුළින් දීර්ඝ ගමනක් මේ නිර්මාණකරුවන්ට ගමන් කළ හැකියි.

පවතින ගැටලුවලට විසඳුම් ලබාදීමට රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?

අපි මේ වනවිට ඉහත සඳහන් ගැටලු පිළිබඳව රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව ඒවාට විසැඳුම් ලැබේවි කියන බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමඟ එක්ව දරුවන්, ගුරුවරුන් කේන්ද්‍ර කරගෙන නාට්‍ය පුහුණුවීම් හා වැඩමුළු පැවැත්වීමට සූදානම්.

දැනටමත් කුරුණෑගල, යාපනය, නැඟෙනහිර පළාත්වල වැඩමුළු පැවැත්තුවා. උතුරු, නැඟෙනහිර පැවැත්වූ වැඩමුළු ඉතා සාර්ථක බව පෙනී ගියේ මෙවර නාට්‍ය තරග සඳහා ලැබුණු ඉතා විශාල පිටපත් ප්‍රමාණය නිසා යි.

ඔබේ වචනෙන්ම සඳහන් කළහොත් ඔබ “උපන්ගෙයි කලාකරුවෙක්” වර්තමාන ළමා පරපුරේ කලා කුසලතා දකින්නේ කුමන ආකාරයෙන්ද?

ඇත්තෙන්ම වර්තමාන ළමා පරපුරේ ඉතා දක්ෂ නව අදහස් තිබෙන, නිර්මාණශීලී දරුවන් සිටිනවා. නමුත් මේ අයගේ රසඥතාවය වැඩි කිරීමට ගුරුවරුන්, මවුපියන්, වැඩිහිටියන් ලබාදෙන ඉඩප්‍රස්ථාව අඩුයි. දරුවෙකු සමබර පෞරුෂයකින් හෙබි පුද්ගලයකු බවට පත් කිරීමට කලාව අන්තර් පෝෂණයක් ලබාදෙන මාධ්‍යයක්.

කුසට ආහාර මෙන් ම මනසට සෞන්දර්ය රසාස්වාදය අවශ්‍ය යි. එනිසා මම මවුපියන්ගෙන් ඉල්ලීමක් කරනවා තම දරුවා කිසියම් කලා මාධ්‍යයකට හුරුපුරුදු කරන ලෙසට. මන්දයත් කලාව හරහා බිහිවන්නේ උතුම් මිනිසෙක්. කෙනෙකුගේ අධ්‍යාත්මය පිවිතුරු කරන කලාව කියන්නේ භාවනාවක්.

අද දරුවෝ යන්ත්‍ර වෙලා. කුඩා වයසේ ඉඳන්ම අධ්‍යාපන තරගයට වැටිලා. ඒ නිසා ඔවුන්ගේ නිර්මාණශීලිත්වය, කලා කුසලතා සැඟවී ගිහින් ගුරුවරුන්ට හා මවුපියන්ට පුළුවන් හොඳ කලාත්මක පුද්ගලයකු හෙට දවසේ ලොවට දායාද කරන්න.

විද්‍යාව, තාක්ෂණය යන විෂයයන් හැදෑරුවත් කලා මාධ්‍යයන් දිවියට සමීප කර ගැනීමට පුළුවන්. මම මෙය කියන්නේ අත්දැකීමෙන්. මමත් හැදෑරුවේ විද්‍යා විෂයයන් පසුව ගුරුවරයෙක් ලෙසත් අද වනවිට කලාකරුවකු ලෙසත් ජීවිතය ජය ගන්න හා අන් අයගේ සිත් තුළ රැඳෙන්න මට හැකි වුණා. ඒ නිසා දරුවාට කලාව තුළින් ලෝකය දකින්න ඉඩ දෙන්න.

නොමිලේ පැවැත්වෙන රාජ්‍ය ළමා නාට්‍ය උළෙල නැරඹීමට පැමිණ මේ දරුවෝ වෙනුවෙන් අත්පොළසන් ලබාදී ඒ අයව දිරිගන්වන ලෙසට.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]