මුද්‍රණය සඳහා

 
රාජ්‍ය සේවකයා; සිහින හා මැතිවරණ

රාජ්‍ය සේවකයා; සිහින හා මැතිවරණ

වත්මන් ශ්‍රී ලංකාවේ ලක්ෂ දාහතරකට වැඩි රාජ්‍ය සේවකයෝ පිරිසක් රට ගොඩනැංවීමේ බරපතළ ක්‍රියාවලියට එකතු වී සිටිති. වසර පහක් වැනි කෙටි කාලයක් තුළ රාජ්‍ය සේවය දෙගුණ වී තිබේ. ආසියාවේ රටවල් අතරින් රාජ්‍ය සේවකයා කෙරෙහි විශ්වාසය තැබූ එකම පුද්ගලයා වූයේ මැලේසියාවේ නායක මහතීර් මොහොමඩ් මහතා ය. ඔහුගෙන් පසු රාජ්‍ය සේවකයා කෙරෙහි විශ්වාසය තැබූ රාජ්‍ය නායකයා ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය. අත්දැකීම් සපිරි රාජ්‍ය සේවකයා අඩු වයසින් විශ්‍රාම ගැන්වීම නිසා ඔහු කලින් ම මරණය කරා ළඟා වන්නේ යැයි මහතීර් මොහොමඩ් මහතා කියා තිබේ. මෙරට ජනාධිපතිවරයා අපේ රාජ්‍ය සේවකයා විශ්‍රාම ගැන්විය යුතු කාලය වසර හැට දක්වා දීර්ඝ කළේ ය.

මෙරට රාජ්‍ය සේවයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. එය 1815 ඉංග්‍රීසි පාලනය ආරම්භ වීමත් සමඟ ඉංග්‍රීසිකරණයට යටත් විය. 1948 නිදහස ලැබෙන තෙක්ම වසර 133 ක කාලය ගෙවී ගියේ සුද්දාට අවශ්‍ය රාජ්‍ය සේවයක් තහවුරු කිරීම සඳහා ය. එය කෙතරම් බලවත් ලෙස මෙරට රාජ්‍ය සේවයට ඇතුළත් ව තිබුණේද යත්; නිදහසෙන් පසුවද රාජ්‍ය සේවකයා ක්‍රියා කළේ මහජනයා පාලනය කරන පොලිස්කාරයකු ලෙස ය. මේ ක්‍රමය වෙනස් වූයේ බණ්ඩාරනායක පාලන සමයේ ය. මිනිසාගේ යුතුකම මිනිසාට සේවය කිරීම ය යන ආදර්ශ පාඨය අනුව එදා රාජ්‍ය සේවකයෝ රාජකාරි කළහ. එබැවින් එදා රාජ්‍ය සේවය තුළ අර්බුද හීන විය.

තෘප්තිමත් රාජ්‍ය සේවයක් සඳහා බොහෝ දේ සම්පූර්ණ විය යුතු ය. පළමු කොන්දේසිය විය යුත්තේ ආයතන වසා දැමීම, ඈවර කිරීම හා පෞද්ගලික අංශයට විකුණා දැමීම නවතා රාජ්‍ය සේවය හා එම ආයතනවල පැවැත්ම තහවුරු කිරීම ය. දීර්ඝ කාලයක් තිස්සේ ම මෙරට රාජ්‍ය සේවකයා ජීවත් වූයේ බිය හා අවිශ්වාසය පෙරටු කරගෙන ය. දුම්රිය දෙපාර්තමේන්තුව මෙන් ම විදුලිබල මණ්ඩලය ද විකුණා දැමිය යුතු යැයි එජාප ආණ්ඩුව කීය. ලාභ ලැබූ රාජ්‍ය’යතන ගණනාවක් ම තම හිතවතුනට විකුණා දැම්මේ ය. මේ වරද චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව ද එලෙස ම සිදු කළේ ය. වේටෙක්ස් ආයතනය මිලට ගත් තැනැත්තා එහි යකඩත් විකුණා දමා රට පැන්නේ ය.

අද රාජ්‍ය සේවකයාට සැනසිල්ලේ වැඩ කිරීමට හැකියාවක් තිබේ. කිසිදු රාජ්‍යා’යතනයක් විකුණා දමන්නේ නැති බවට සහතිකයක් ජනාධිපතිවරයා විසින් ලබා දී තිබේ. ඔහු වරින්වර ජනතාව ඉදිරියේ එම අදහස් ප්‍රකාශ කරයි. ලෝක බැංකුව නිකුත් කළ මෑතකාලීන උපදේශන වාර්තාවක සඳහන් වූයේ දියුණුවන රාජ්‍යයන් විශ්‍රාම වැටුප් ක්‍රමය අත්හළ යුතු බව ය. විශ්‍රාම වැටුප් කපා හැරියේ නම්, ඉන් පහර වදින්නේ රාජ්‍ය සේවකයාට ය. එහෙත් ජනාධිපතිවරයා ලෝක බැංකු උපදේශනය පිළිගත්තේ නැත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවාව ආසියාවේ හොඳ ම රාජ්‍ය සේවාවක් යැයි ආචාර්ය විලී ගමගේ මහතා මීට ටික කලකට පෙර කියා සිටියේ ය. මෙරට රාජ්‍ය සේවාව අකාර්යක්ෂම යැයි කීම බොරුවක් බව කියන විලී ගමගේ මහතා; රාජ්‍ය සේවය අකාර්යක්ෂම නම්; එක දිනයක් තුළ දී රටක මැතිවරණයක් තබා පසු දිනට ප්‍රථම ප්‍රතිඵල නිකුත් කරන්නේ කෙසේ’දැයි ප්‍රශ්න කර සිටියේ ය. සුනාමි ඛේදවාචකයේ දී දකුණේ මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින් ම විනාශ විය. මාස කිහිපයක් ඇතුළත දී එම මාර්ගය යළි තනා දුම්රිය ධාවනයට අවස්ථාව ලබා දුන්නෝ මෙරට දුම්රිය සේවකයෝ ය. අපේ රාජ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව මෙන් ම තාක්ෂණ හැකියාව ද ඒ මගින් මනාව සනාථ කෙරේ.

මෙරට රාජ්‍ය සේවාව අකාර්යක්ෂම බව ද, රාජ්‍ය ආයතනවලින් ලාභ ලැබිය නොහැකි යැයි ද, පෞද්ගලික අංශය ඊට වඩා වේගවත් යැයි ද කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු ය. 1977 සිට එම මතය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. රාජ්‍ය සේවකයාට තිබුණු සමාජ පිළිගැනීම හා ගෞරවය මේ නිසා පිරිහිණි. එජාපය එසේ ක්‍රියා කළේ කරුණු දෙකක් නිසා ය. ඉන් පළමුවන්න ලෝක බැංකු උපදෙස් ය. ඔවුන්ගේ උපදේශනය වූයේ මහජන සුබසාධනය මෙන් ම රාජ්‍ය සේවකයන්ගේ ප්‍රමාණය ද සීමා කළ යුතු බව ය. දෙවන්න; එජාපය බලයට පත් කළේ මෙරට ව්‍යාපාරික පන්තිය බැවින් ඔවුන්ගේ ආයතන ශක්තිමත් කිරීම සඳහා පෞද්ගලිකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු යටතේ රාජ්‍ය සේවාව අංශ කිහිපයකින් ම පල්ලම් බැස්සේ ය. සුදුසුකම් නො බලා උසස්වීම් ලබාදීම ආරම්භ වූයේ එම කාලයේ ය. එක් නිදසුනක් කිවහොත් සොත්ති උපාලි නම් අපරාධකාරයා ආර්. ෙප්‍ර්මදාස ආණ්ඩු සමයේ නිවාස අමාත්‍යාංශයෙන් වැටුප් ලබාගත් ඉහළ නිලධාරියෙකි. මෙබඳු අපරාධකාරයන් රැසකට එදා රාජ්‍ය සේවාවේ ඉහළ තනතුරු ලබා දී තිබිණි. සේවක අයිතිවාසිකම් කපා හැරිය අතර ඊට එරෙහිව නැඟුණු සෑම වර්ජනයක් ම දැඩි ලෙස මර්දනය කළේ ය. හොඳම නිදසුන 1980 ජූලි වැඩ වර්ජනයයි. එහි කරුමය ගෙවන්නෝ අදත් සිටිති.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ලුහුඬු ආණ්ඩු සමයේ එක ම රාජ්‍ය සේවකයකු හෝ අලුතින් බඳවාගෙන නැත. එදා ලක්ෂ හයකට වැඩි රාජ්‍ය සේවක පිරිසක සේවයෙන් දොට්ට දැමීම සඳහා පිඹුරුපත් සකසා තිබිණි. ලෝක බැංකු උපදේශනය අකුරටම පිළිගත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මහජන සුබසාධනය ද කපාගෙන ගියේ ය. ජේ. ආර්. ජයවර්ධන මහතා නව සිංගප්පූරුවක් තැනීමට උත්සාහ කළ අතර ෙප්‍ර්මදාස මහතා කොරියාවක් හැදීමට සිහින මැව්වේ ය. රනිල් වික්‍රමසිංහ මහතාගේ සිහිනය වන්නට ඇත්තේ නව අමෙරිකාවක් තැනීම විය යුතු ය. එහෙත් එම සිහින බොඳ වී ගියේ මහජන විරෝධය නිසා ය. මෙරට රාජ්‍ය සේවකයන්ගේ ශක්තිය හා පෙළ ගැසීම ද ඒ අතර තිබිණි.

රාජ්‍ය පාලකයාට සේම රාජ්‍ය සේවකයාට ද සිහින තිබේ. එම සිහිනවල ඇත්තේ අනාගතය පිළිබඳ අපූරු හා විසිතුරු උපකල්පනයන් ය. උසස්වීම් ද එම සිහින අතර පවතී. ජ්‍යෙෂ්ඨත්වයට, කාර්යක්ෂමතාවට හා අධ්‍යාපනයට උසස්වීම් ලබාදෙන පිළිවෙතක් නැවත ක්‍රියාත්මක වේ. දේශපාලනය උසස්වීම් සඳහා සුදුසුකමක් වන්නේ නැත. එහෙත් රාජ්‍ය සේවකයා; රජයේ කාර්යභාරයන් ඉටුකිරීමට අත්‍යන්තයෙන්ම බැඳී සිටී. කාර්යක්ෂමතාව ඇතිවන්නේ ද මහජනයා තෘප්තිමත් වන්නේ ද එම සේවාව ඔස්සේ ය. එබැවින් රාජ්‍ය සේවකයා වැඩ කළ යුතු ය යන ස්ථාවරයේ ආණ්ඩුව සිටී. මැලේසියාවේ තත්ත්වය ද එයම වේ.

රාජ්‍ය සේවකයාට නිදහසේ සිය දේශපාලන අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ තිබේ. ඒ සඳහා කිසිදු බාධාවක් නැත. අදත් - හෙටත් තැපැල් ඡන්ද පැවැත්වෙන දින ලෙස සැලකේ. ඒ උතුරු වයඹ හා මධ්‍යම පළාත්හි පළාත් සභා මැතිවරණ සඳහා ය. තැපැල් ඡන්ද හිමියෝ එක් ලක්ෂ ගණනක් ඇතැ’යි කියති. ඔවුන් බුද්ධිමත් තීරණයක් ගනු ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]