මුද්‍රණය සඳහා

 
රාජ්‍ය සේවකයා ආණ්ඩුව සමගයි

රාජ්‍ය සේවකයා ආණ්ඩුව සමගයි

ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න රාජ්‍ය පරිපාලන ඇමැති

රාජ්‍ය සේවකයන්ට ලබාදී ඇති සුබසාධන මොනවාද ?

රාජ්‍ය සේවකයන්ට අග්‍රහාර රක්ෂණ ආවරණය හරහා ප්‍රතිකාර ලබාගැනීමේ අවකාශ්‍ය ලැබී තිබෙනවා. එමගින් ලැබෙන ප්‍රතිපාදන ද වැඩි කළා, හෘද සැත්කම් සදහා මෙතෙක් කල් ලබා දුන්නේ රුපියල් තුන්ලක්ෂ පනස්දහසක මුදලක්. අපි එය ලක්ෂ හතර දක්වා වැඩි කළා.

මෙතෙක් කල් සාමාන්‍ය සැත්කම් සඳහා ලබාදුන්නේ රුපියල් ලක්ෂයක මුදලක්. අපි එය එක් ලක්ෂ පනස් දහස දක්වා වැඩි කළා. දේපල මිලදී ගැනීමටත් නිවාස ඉදිකර ගැනීමටත් අපි සහනදායි ණය ලබාදෙනවා. වැටුපට සරිලන වසර හතක වැටුප සේවකයන්ට ඒ යටතේ හිමිවෙනවා. වැටුප් වර්ධක ද පසුගිය වසරවල ලබාදුන්නා.

වැටුප් වර්ධක ලබානොදී රාජ්‍ය සේවකයන්ව රැවටූ බවට විපක්ෂය චෝදනා නඟනවා නේද?

විපක්ෂයට පුළුවන් චෝදනා නඟන්න විතරයි. ඒ අය කවදාවත් රජයේ හොඳ දකින්නේ නෑ. හැමදේටම චෝදනා ක‍ර කර ඉන්නවා. විපක්ෂයේ ඉන්නකොට මොනවහරි කරන්න දෙයකුත් ඕනනේ. 2006 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප විශාල ලෙස වැඩි කළා.

රුපියල් 7300 වූ සුළු සේවක වැටුප රුපියල් 11700 දක්වා ඉහළ නැංවූවා. ලිපිකරු හා ඒ සමාන සේවා සඳහා රුපියල් 4000 ක වැටුප් වැඩිවීමක් සිදු කළා. මාණ්ඩලික නිලධාරීන්ගේ ඇතුළු සියලු නිලධාරීන්ගේ වැටුප් ඉහළ නංවන්න අප පසුබට වුණේ නෑ. ඒ විතරක් නෙවෙයි 2011 දී අය වැය මගින් සියයට පහක වැටුප් වැඩිවීමකුත් 2012 අයවැයෙන් සියයට පහක වැටුප් වැඩිවීමකුත් 2013 දී සියයට පහක වැටුප් වැඩිවීමක් සිදු කළා.

ඒ වගේ ම ජීවන වියදමට සරිලන අයුරින් රුපියල් 6600 ක විශේෂ දීමනාවක් ලබා දුන්නා. රාජ්‍ය සේවකයන්ගෙන් නොනැවතුණ රජය විශ්‍රාමිකයන්ට රුපියල් 500ක දීමනාවක් අයවැයෙන් ලබාදුන්නා. මේ සේරම කළේ නෑ කියලා කාටවත් චෝදනා කරන්න බෑ.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ රාජ්‍ය ආයතන ගණනාවක් පෞද්ගලීකරණය කළා. පර්ක් කමිටුව හරහා තවත් ආයතන ගණනාවක් පෞද්ගලීකරණය කිරීමට නම්කර තිබුණා. වත්මන් ආණ්ඩුව රාජ්‍ය ආයතන සුරක්ෂිත කළේ කොහොමද?

එ.ජා.ප රජය තිබූ සමයේ මහජන බැංකුව ඇතුළු රාජ්‍ය ආයතන 39 ක් පෞද්ගලීකරණය කිරීමට නිර්දේශ වී තිබුණා. පෞද්ගලීකකරණය යටතේ සේවක කප්පාදුවකට ද ඔවුන් අවතීර්ණය වී සිටියා. රාජ්‍ය සේවකයන් හිටියේ හරි කලකිරීමෙන්. එ.ජා.පය 1980 දි රුපියල් තුන්සීයක මාසික වැටුප් වැඩිවීමක් ඉල්ලමින් වැඩවර්ජනය කළ රාජ්‍ය සේවකයන් 40000 ක් රැකියාවලින් දොට්ට දැම්මා.

රැකියා අහිමි වුණු බොහෝ ‍රාජ්‍ය සේවකයන් උන්හිටි තැන් නැතිවෙලා පාරට වැටුණා. සමහර සේවකයන් සිය දිවි හානි කර ගත්තා. නැවත 2001 දි පැමිණි එ.ජා.ප ආණ්ඩුව ලක්ෂ අටක් වෙච්ච රාජ්‍ය සේවකයන් ලක්ෂ පහ දක්වා අඩු කිරීමේ තීන්දු ගෙන තිබුණා. මහා භාණ්ඩාගාර ලේකම් චරිත රත්වත්තේ මහතා‍ගේ චක්‍රලේඛණයට අණුව වසරකට ‍රජ්‍ය සේවකයන් ලක්ෂය බැගින් කප්පාදු කිරීමට නියමිතව තිබුණා. සංස්ථාවකට හෝ දෙපාර්තමේන්තුවකට කිසිදු බඳවා ගැනීමක් සිදුකළේ නැහැ‍.

රැකියා නොමැතිව තරුණ තරුණියන් ලක්ෂ ගණනක් කර කියාගත හැකි දෙයක් නොමැතිව හිටියා. රටේ රැකියා වියුක්ති තරුණ තරුණියන්ගේත් රටේ ජනතාවගේත් වාසනාවට 2005 නොවැම්බර් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රට බාර ගත්තා. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට තිත තිබ්බේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. ඉන්පසු රාජ්‍ය සේවකයන් බදවා ගැනීමේ කටයුතු ආරම්භ කළා. 2005 දී ලක්ෂ අටක් වූ රාජ්‍ය සේවකයන් මේ වන විට ලක්ෂ දහ හතර දක්වා වැඩිවී තිබෙනවා.

මිලියන විස්සක් ‍වුණු ශ්‍රී ලාංකීය ජනගහනයෙන් පුද්ගලයන් විසිදෙනකුගෙන් එක් අයෙක් රාජ්‍ය සේවයේ නියුතු වෙනවා. මේ ආශ්චර්යක් නොවෙයිද? රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කර ඵලදායිතාව නැංවීමට අපේ රජය කටයුතු කළා. රටේ ආර්ථික සංවර්ධන හා සමාජීය දියුණුව ඒ යටතේ උදාවුණා.

ලෝකයේ හොඳම රාජ්‍ය අංශ‍ය තිබෙන්නේ ලංකාවේ කියලද ඔබ කියන්නේ?

ඇත්තෙන්ම ඔව්. 2005 දී ලක්ෂ අටක්ව තිබූ රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 2013 දී ලක්ෂ දහහතර දක්වා ඉහළ නැංවීම ආශ්චර්යමත් සිදුවීමක්. ‍රාජ්‍ය සේවකයන්ට ලබාදෙන සුබසාධන වැටුප් වර්ධක ලෝකයේ දියුණු රටකවත් ලැබෙන්නේ නෑ. එ.ජා.ප ආණ්ඩුව සමයේ සේවකයන් විස්සක් අවශ්‍ය තැනට රාජ්‍ය සේවකයන් යොදවා තිබුණේ හය දෙනයි.

අපේ රජය සෑම පුරවැසියන් විසි දෙනකුගෙන් එක් අයෙක් රාජ්‍ය සේවකයෙක් කර තිබෙනවා. අපේ රාජ්‍ය සේවයේ ඵලදායිතාවය ඉතා ඉහළයි. යුද්ධය පැවති කාලයෙදීත් රාජ්‍ය සේවය වෙනුවෙන් රජය අප්‍රමාණව කටයුතු කළා. ඒ වකවානුවේත් වැටුප් වැඩිවීම් ලබාදුන්නා. ඒ නිසා ලෝකයේ තිබෙන හොඳම රාජ්‍ය අංශය තියෙන්නේ අපේ රටේ කියලා නිර්භයව කියන්න පුළුවන්.

2005 ලක්ෂ අටක් වූ රාජ්‍ය ‍සේවකයන් සංඛ්‍යාව 2013 දී ලක්ෂ දහ හතර දක්වා නංවාලීමට රජය ගත් ක්‍රියා මාර්ග‍ මොනවාද?

මේ ආණ්ඩුව යටතේ ආර්ථික සංවර්ධනය ඉතා ඉහළ අගයක තිබෙනවා. රටේ සිදුකෙරෙන දැවැන්ත සංවර්ධන ව්‍යපෘති උදාහරණයක් විදියට පෙන්වා දෙන්න පුළුවන්. 2005 න් පස්සෙ පුරප්පාඩු වෙලා තිබුණු ගුරුවරු 30000 කට අපි පත්වීම් දුන්නා. සාත්තු සේවිකාවන් 10000 ක් අපි බඳවා ගත්තා. පරිපාලන කළමනාකරණ සහකාර සේවයේ පුරප්පාඩු සඳහා 5000 ක් පමණ අපි බඳවා ගත්තා. ග්‍රාම නිළධාරීන් 4000 ක් බදවා ගන්න සම්මුඛ පරීක්ෂණ ඉදිරියේදී පවත්වනවා. 2011 දෙසැම්බර් 30 ට පෙර උපාධිය සම්පූර්ණ කරපු උපාධිධාරීන්ට අභ්‍යාසලාභීන් ලෙස පත්වීම් ලබා දුන්නා. ඔවුන් වසරක් ඇතුළත ස්ථිර කිරීමට ද අපි පියවර ගත්තා. මේ විදියට තමයි රාජ්‍ය සේවකයන් ලක්ෂ හතක් දක්වා වැඩිවුණෙ.

දේශපාලන පාක්ෂිකභාවය මත රැකියා ලබාදීමේ ක්‍රමයක් සිදු වුණාද?

කොහෙත්ම නැහැ. කිසිම කෙනෙක් දේශපාලන පාක්ෂිකභාවය මත අපි බඳවාගෙන නෑ. මේ සියල්ල සිදු කළේ තරග විභාගවලිනුයි. විභාග නොමැතිව බඳවා ගැනීම් කළේ කම්කරු සේවයට පමණයි. දේශපාලනික හෝ පක්ෂපාතීත්වය අනුව බඳවා ගැනීම් කරලා නැහැ.

අපි හැමවිටම බලන්නේ පක්ෂ භේද, ආගම් භේද, ජාති භේදවලින් තොරව සමානාත්මයෙන් යුතුව කටයුතු කිරීමටයි. ජනාධිපතිතුමාගේ එම අරමුණ ඉටුවෙලා තිබෙනවා. කාටවත් ඇඟිල්ල දික් කරන්න බැහැ‍.

අර්ථසාධක අරමුදල් නිසි අයුරින් තැන්පත් කර නොමැති බවට චෝදනා නැ‍ඟෙනවා නේද?

හැම රජයක්ම අර්ථසාධක අරමුදල් පාවිච්චි කරනවා. ඒ සඳහා රජයෙන් පොළියක් ද ගෙවනවා. අර්ථසාධක හිමියන්ට අවශ්‍ය වෙලාවට ඒවා ගෙවීම් සිදුනොකොළොත් තමා ප්‍රශ්නයක් එන්නේ. නමුත් මෙතෙක් කිසිදු එවැනි පැමිණිල්ලක් නැහැ.

කම්කරු අමාත්‍යංශය අර්ථසාධක මුදල්වලට වග කියනවා. මහ බැංකුව ඒවා ආරක්ෂා කිරීමේ කටයුත්ත සිදු කරනවා. අක්‍රමිකතාවයක් වුණා කියාවත් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නැහැ. ඒ නිසා එවැනි චෝදනාවලින් රජය සැලෙන්නේ නැහැ‍.

‍ෙකතරම් සහන ලබාදුන්නත් රාජ්‍ය සේවකයන් රජය කෙරෙහි විශ්වාසය තබා ඇතැයි ඔබ සිතනවාද?

ඇයි නැත්තෙ. පසුගිය මහා මැතිවරණ, ජනාධිපතිවරණ, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණවලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට තැපැල් ඡන්දවලින් හිමිවුණේ අති විශිෂ්ට ජයග්‍රහණයක්. ඒක බොරු කියලා කාටවත් කියන්න බැහැ.

වයඹ, මධ්‍යම හා උතුරු පළාත් සභාවලට අදාළ තැපැල් ඡන්දය අද හා හෙට පැවැත්වෙනවා. තැපැල් ඡන්දයේ දී රාජ්‍ය සේවකයන් රජය කෙරෙහි තබා ඇති විශ්වාසය කෙතරම්දැයි කාටත් බලා ගන්න පුළුවන්.

ඒ කියන්නේ තැපැල් ඡන්දවලින් ආණ්ඩුව ජයග්‍රහණය කරනවා කියන එකද?

අනිවාර්යයෙන්ම අති විශිෂ්ට ජයග්‍රහණයක් අපි ලබනවා. රාජ්‍ය සේවකයන් බුලත් කොළේ දිනවන්න ඇප කැප වෙනවා. ඒක ස්ථිරයි. තැපැල් ඡන්දවලින් විතරක් නෙමෙයි. උතුර වයඹ හා මධ්‍යම පළාත් තුනම අපි ජය ගන්නේ ඉතිහා‍සයේ නොවූ විරූ ආකාරයටයි‍.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]