මුද්‍රණය සඳහා

 
පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවෙන් ගමේ පුංචි මිනිහාටත් සේවයක්

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවෙන් ගමේ පුංචි මිනිහාටත් සේවයක්

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල ප්‍රජා,සිවිල්, වෘත්තිය සංවිධානයන්හී ක්‍රියාකාරින්ගෙන් සමන්විත පොදුරාජ්‍ය මණ්ඩලීය ජනතා සංසදය නොවැම්බර් 10 සිට 15 දක්වා ගාල්ල හික්කඩුවේ ඡායා නිකේතනයේදී පැවැත්වෙනු ඇත.

“සමානාත්මතාව සහිත වර්ධනය හා පරිපූර්ණ සංවර්ධනය - 2015න් ඔබ්බට” යන්න මුඛ්‍ය තේමාව කර ගනිමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරින් රැස්වෙති. මෙහිදී “සාධාරණාත්මක වර්ධනය”,”පරිපූර්ණ පාලනය” සහ “තිරසාර සංවර්ධනය” යන සම තේමාවන් පිළිබඳත්; පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් මුහුණ පාන්නා වූ තීරණාත්මක ගැටලු සාකච්ඡාවට ලක් කිරීමටත්, එම නිර්දේශයන් රාජ්‍ය නායකයින්ගේ සමුළුව වෙත ඉදිරිපත් කිරීමට සිවිල් සමාජ ක්‍රියාකාරින් මෙම සැසි වාරයට සහභාගි වෙමින් බලාපොරොත්තු වේ.

“පොදු රාජ්‍ය මණ්ඩලීය පදනම” විසින් සංවිධානය කරනු ලබන “පොදුරාජ්‍ය මණ්ඩලීය ජනතා සංසදය” සඳහා සත්කාරය “ශ්‍රී ලංකා රජය” සමගින් “ශ්‍රී ලාංකීය සිවිල් සංවිධාන සන්ධානය” විසින් ඉටු කරනු ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් සමඟ ගෝලීය සංවර්ධන ගැටලු පිළිබඳ සිවිල් සමාජයට සංවාදයේ යෙදෙන්නට ලැබෙන මුල්ම අවස්ථාවද මෙය වන්නේ ය. මෙම සැසිවාරය අතර තුර ඉගෙනුම් සංචාරයන් 03ක් ද සංවිධායකයින් විසින් සැලසුම් කර ඇත.

1.උතුරු පළාත

උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය සහ කන්කසන්තුරේ යන දිස්ත්‍රික්කවල ප්‍රතිසන්ධානය , එකඟතාවය සහ සංවර්ධනය යන්න මුල් කර ගත්තා වූ ඉගෙනුම් සංචාරය පැවැත්වේ.

2. ඌව පළාත

ඌව පළාතේ බදුල්ල, මොනරාගල සහ වැල්ලවාය යන ප්‍රදේශවල සංචාරය කරමින් බදුල්ල දිස්ත්‍රික්කයේ වතු අංශයේ සංවර්ධනය පිළිබඳත් මොනරාගල හා වැල්ලවාය ප්‍රදේශවල ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ විමසා බැලීමට යෝජිතය.

3.දකුණු පළාත

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කය හා ගාල්ල දිස්ත්‍රික්කයන්හි සංචාරය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාන්තා සංවර්ධනය සහ යටිතල සංවර්ධනය සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකත්වයේ දරා සිටීමේ ප්‍රත්‍යූත් ක්‍රම ශක්තිය විමසා බැලීම සිදු කරයි. එකී අධ්‍යන ක්‍ෂේත්‍රයන් තුළින් ලබා ගත්තාවු දැනුමත්, අත්දැකීම් හා ඒ ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු සහ අභියෝගයන් පිළිබඳ සැකසුනු නිර්දේශයන් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙත ඉදිරිපත් කිරීමට යෝජිතය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල රාජ්‍ය නොවන, ප්‍රජා මුල, සිවිල් ජනතා සහ වෘත්තිය සංගම් නියෝජිතයින් 400කට අධික ප්‍රමාණයක් මෙම සැසිවාරයට සිය දායකත්වය සපයයි. පොදුරාජ්‍ය මණ්ඩලීය ජනතා සංසදයේ දේශීය නියෝජනය ඉන් 50%ක් වේ. මෙම සැසිවාරය තුළ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් තුළත්, සත්කාරක රට වන ලංකාව තුළත් සිදු වූ සමාජ, ආර්ථික හා දේශපාලනික වෙනස්කම් හා එහි බලපෑම් සම්බන්ධයෙන් ගෙන ඇති ප්‍රතිසංස්කරණයන් කවරේද? යන්නත්, එහි අත්දැකීම් හා ප්‍රවනතාවයන් පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට මෙන්ම ලෝකයේ බොහෝ රටවලට සැබෑ සංවර්ධනය හා පැවැත්මට බාධා කරන ලෝක වැඩපිළිවෙළක් ඇත. එය සිදු කරනුයේ සංවිධානාත්මකව ය. මෙයින් මේ රටවල විවිධ පීඩාවන් ඇති කෙරේ. විනාශයන් ඇති වේ. මෙම විනාශයන්ගෙන් හා පීඩාවෙන් විපතට පත්වූවන් හා එහි ඇති සදාචාරාත්මක නොවන බව වටහාගෙන පෙළගැසෙන ජනතා වැඩ පිළිවෙළක් ඇති කර ගනිමින් එය පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට ඉදිරිපත් කර සාකච්ඡාවට බඳුන් කරවීම ද කළ යුතුව ඇත. මෙය සිවිල් සංවිධාන ක්‍රියාකාරින්ගේ මහඟු වගකීමක් වනු ඇත.

වත්මන් මානව සමාජය ඉදිරියේ ලෝක දෙකක් බිහි වී ඇත. ඉන් එකක් පසුගිය කාලය පුරාවටම ලෝකය බිය වද්දමින් බලහත්කාර කමින්, අත්පත්කරගෙන සිය තෘෂ්ණාව වෙනුවෙන් අධික ලාබය හා ධනය ඉපයීම සඳහා ක්‍රියා කළ “ප්‍රාග්ධන ගෝලීය කරණය, ක්‍රියාත්මක කරනු ලබන ලෝකයයි. අනෙක් ලෝකය එයින් මානව වර්ගයාගේ හා මිහිතලයේ ඉදිරි පැවැත්ම විනාශය කරා ඇද දැමීම වළක්වා මානව වර්ගයා හා මුළුමහත් ජීවය ඉහත ක්‍රියාදාමයෙන් නිදහස් කර ගැනීම සඳහා ලෝක ජනතාව විසින් ගොඩනඟන වඩා යහපත් ලෝකයයි.

මේ ලෝක දෙක අද එකිනෙකාට අභියෝග කරමින් මුහුණට මුහුණලා අනාගතය වෙනුවෙන් විශාල අරගලයක් කරයි.

ගෝලීයකරණයට හසු කර ගත් ලෝකයෙහි ලාබය හා ප්‍රාග්ධනය එකතු කිරීමට ගැටුම් ඇති කිරීමට ස්වභාවික සම්පත් නාස්තියට විශාල ඉඩක් තිබේ. එම හේතුවෙන් අහස, පොළොව, සුළඟ, ජලය, පරිසරය ජීවයට හිතකර නොවන තත්ත්වයකට පත්වෙමින් තිබේ. කාර්මීකරණය හා තාක්ෂණික ජයග්‍රහණයන් පසුපස හඹා යාමට බලවත්හු ක්‍රියා කරති. එකී හේතුවෙන්

ලෝක ජනයා සතු චිරස්ථායි ජීවන මාර්ගයන් අහිමිවීම,

සොබාදහම හා පරිසරය විශාල විපතකට පත්වීම

සදාචාරාත්මක සියලු දේ පිරිහීමට ලක්වීම

සෞන්දර්ය ,කලාව, වෙළෙඳ ප්‍රචාරණයක් හා වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වීම

වෙදකම, නිරෝගී භාවය දැවැන්ත ඖෂධ ජාවාරමක් වීම

සදාතනික ලෝක සත්‍යයන්ට පිටුපාන විද්‍යාවක් ගොඩනැගීම

ශිෂ්ටාචාරය විසින් උරුම කළ චිරස්ථායි තාක්ෂණික ක්‍රම විනාශ වීම

අධිපති චින්තනය හා දේශපාලනයේ අනාර්ථික මෙන්ම අවිද්‍යාත්මක බව බලවත් කිරීම

යන ඒවා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් තුළත් සමස්ථ ලෝකය තුළත් වේගයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. එය මිනිසාගේ උසස් යහපත් පැවැත්මට බාධා පමුණුවයි. ඒවායින් මුළුමහත් මානව සමාජය තුළත්, සොබාදහම තුළත්, ඇති කරනු ලබන සෝදාපාළුව ඉතා ඉහළය. ඒ සෝදාපාළුව විසින් ඇති කරන විනාශය වටහාගත් හා එයින් මිදුණු අනාගත සමාජයක් බිහි කිරීමේ පුරෝගාමි පෙරගමන්කරුවන් ලෙසින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ජනතා සංසදයට සිවිල් සමාජ නියෝජිතයින් සහභාගි වනු ඇත.

අනාගතය යහපත් කිරීමේ හැකියාවේ අවශ්‍යතාවය හා වගකීම ඇත්තේ මූලික වශයෙන් මෙවැනි සිවිල් සමාජ සංවිධානයන් තුළය. එබැවින් එම යහපත් ලෝකය පිළිබඳ දර්ශනය අවශ්‍යයෙන්ම ප්‍රගුණ කළ යුත්තේ එය කළ යුතුය, කළ හැකි දැනුවත් උගත් සිවිල් සමාජයන් විසින්ම ය. ඒ තුළ ලෝක සත්‍ය හා මානවයන්ගේ ඉදිරි පැවැත්ම පිළිබඳ වූ සැබෑ දර්ශනය වටහාගත් දැනුවත් තත්ත්වයට පොදුරාජ්‍ය මණඩලයීය රටවල සිවිල් සමාජයන් පත්විය යුතුය යන්න අප විශ්වාස කරයි.

මෙම තත්ත්වයට නිසි විසැඳුම් සෙවීමට පොදු රාජ්‍ය මණ්ඩලීය ජනතා සංසදයට හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. මන්ද අනාගත ලෝකයට මුහුණ දීමට සිටින තරුණ තරුණයන් මෙම අභියෝග භාරගත යුතුව ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල පමණක් නොව සමස්ථ මිහිතලය හා මිනිස් සමාජය මුහුණ පා සිටින තත්ත්වයන් පිළිබඳ ගැඹුරු විමසුමක් කිරීමටත්, සියලු මිනිසුන් පමණක් නොව, සියලු ජීවීන්ට යහපත් ලෝකයක් ගොඩ නැගීම කෙසේ කළ යුතු ද යන්න සොයා බැලීම ද මෙම සැසි වාරය තුළ දී සිදු කළ යුතු බව සිවිල් සමාජ නියෝජිතයින් අවබෝධ කරගත යුතු වේ. එසේ කිරීම වෙනුවෙන් ඔවුන් පරම සත්‍ය සොයාගත යුතු අතරම සැබෑ විසඳුම්වලට ගමන් කිරීමේ හැකියාව ද ප්‍රගුණ කරගත යුතු වේ.

අරමුණ විය යුත්තේ මිනිස් වර්ගයා විසින් සමස්ථ විශ්වීය ස්වභාවය වටහා ගත් හා ඒ අනුව ගමන් කළ හැකි සංවර්ධන දර්ශනයක් ගොඩනගා “සමානාත්මතාව සහිත වර්ධනය හා පරිපූර්ණ සංවර්ධනය - 2015 න් ඔබ්බට , යාමට අවශ්‍ය මාර්ගය ගොඩනැගීම වේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය ජනතා සංසදය ලාංකීය ප්‍රජාමූල,සිවිල් සමාජ , රාජ්‍ය නොවන වෘත්තීය සංවිධානවලට අලුත් අත්දැකීමක් මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායකයින් සමඟ එක්වීමට ලැබෙන වැදගත් අවස්ථාවක්ද වේ. ඉගෙනීම, ජාලකරණය හා හුවමාරුව සඳහා ඉඩ ප්‍රස්ථා ලබා දෙමින් රාජ්‍ය හා පෞද්ගලික අංශ සමඟ පාර්ශ්වකාරිත්වය ගොඩනැඟීම සඳහා මෙමගින් සිවිල් සමාජයන්ට අගනා වේදිකාවක් සැපයෙනු ඇත.

පසුගියදා මහනුවරදී පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය පදනම හා ශ්‍රී ලාංකීය සිවිල් සංවිධාන සන්ධානය විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය ජනතා සංසදයට ශ්‍රී ලාංකීය සිවිල් සමාජ ධනාත්මක ලෙස දායක විය හැකි ක්‍රමවේදයන් කෙසේද යන්න විමසා බැලුන වැඩමුළුවේදී ලද අත්දැකීම් තුළින් මෙම ලිපිය සැකසුනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]