මුද්‍රණය සඳහා

 
අනුරපුරේ අලි සෆාරි

රජරට සංදේශය

අනුරපුරේ අලි සෆාරි

සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් අනුරාධපුරයේ අලි සෆාරි සේවයක් අරඹන බව උතුරු මැද සංචාරක ඇමති කේ. එච්. නන්දසේන මහතා පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

සංචාරක කර්මාන්තය නඟා සිටුවමින් නව ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් ලෙස මෙම නව වැඩසටහන ඇරඹීමට තීරණය කළ බවත්, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් මහතා ද ඊට විශාල කැපවීමකින් කටයුතු කරන බවත් හෙතෙම මෙහිදී ප්‍රකාශ කළේය.

ලංකාවේ මුල්ම රාජධානිය අනුරාධපුරය යැයි උදම් අනමින් එහි ශ්‍රී විභූතිය හා බෞද්ධ ස්මාරකයන්ගේ ඇති තේජස මෙන්ම දහම මේ භූමිය තුළ මුල් බැසගත් අන්දමත්, එහි ව්‍යාප්තියත් අපේ පාලකයින් අදටත් සිහි කරන්නේ ඇෙඟ් මයිල් කෙලින් කරවමිනි.

අනුරාධපුර සහ පොළොන්නරුව රාජධානිය තුළ දක්නට ඇති ස්මාරක හා එහි ඇති විස්මිත බව අදටත් අපට ස්පර්ශ කළ හැකිය. පූජනීය වන්දනීය ඓතිහාසික සිහිවටනයක් රැකගන්නට අපේ මුතුන් මිත්තන් දර මිටි බැඳන් ගිනි තැපූ හැටි ද අපි අසා ඇත්තෙමු. ඔවුන් පුළුස්සා දැමූ දරවල අළු හෝ අඟුරු අද දක්නට නැත. ජාතියේ වාසනාවට ඒ සියල්ලක් අද දැකගන්නට තිබුණා නම් ඔවුන් කළ කැපකිරීම සාක්‍ෂි ඇතිව පෙන්වීමට හැකි වනු ඇත.

අද ගිනිමැල පත්තු කරන් ගිනි තපින්නට වුවමනා නැත. සතර වාහල්කඩ ආරක්‍ෂක සේනාවෝ මුරකාවලෙහි යෙදෙති. ජව සම්පන්න රාජ තේජස ඇති ගාම්භීර මිනිසෙකු ලක්බිම ඒකජත්‍ර කර හුදී ජනයාගේ සුබවිහරණය උදෙසා කටයුතු කරන යුගයක ඒ රජුගේ ඇවෑමෙන් මතු පරපුරට දායදායන් එක්රැස් කිරීමට මේ පළාතේ මැති ඇමැත්තෝ ක්‍රියා කිරීම අගනේය. එසේ නොකළ හොත් වත්මන් රාජත්වයට ද එය අවමානයකි.

සිසිල් සුළං ධාරා, සිත් වසඟ කරවන වාරි කර්මාන්තය මෙන්ම අප සතු මනස්කාන්ත පරිසරය දෙස් විදෙස් සංචාරකයන්ගේ මනදොල පුරවන තෝතැන්නකි. අතීතය විකුණන් කෑමට අපට වුවමනා නැත. නමුත් කටෝර පොළොව සමඟ පොරබඳින අහිංසක මිනිසුන්ගේ උන්නතියට යමකට මුල පිරීම මහත් ඵල මහානිසංස ගෙන දෙන කටයුත්තකි.

නන්දසේන අමාත්‍යතුමනි, අලි සෆාරි ගිය පමණින් ම සංචාරක කරමාන්තය දියුණු වන්නේ නැත. සුව පහසු නවාතැන් හා සුද්දන් කැමති බීර වර්ග ‍ෙබාන්නට දුන් සැනින් මේ කර්මාන්තය නඟා සිටුවිය නොහැක. ඊට දීර්ඝකාලීන සැලසුම් අවශ්‍යය. මෙම කර්මාන්ත දියුණු කරන අටියෙන් අපේ සංස්කෘතිය, සභ්‍යත්වය විනාශවීමට ඉඩදිය නොහැකිය. මේ සියල්ලට විසඳුම් සොයා නව ක්‍රමවේදයන් කෙරේ අවධානය යොමු කොට සංචාරකයින් වැඩි වශයෙන් උතුරු මැද පළාතට ගෙන්වා ගැනීමට පිඹුරුපත් සැකසීම ඔබේ යුතුකම හා වගකීම වන්නේ ය.

විද්වත් මණ්ඩලයක් යටතේ මේ සංවර්ධන කටයුත්ත පිළිබඳ පුළුල් කථිකාවතක් ඇරඹීම කාලෝචිතය. මේ සැලසුම් හදන සීත කාමරවල ඉන්නා අපේ ලොකු මහත්වරුන්ගේ ලිපි කඩදාසි සුළඟේ යන්නට ඉඩනොදී රැක ගනිමින් ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම ද ඔබට භාරය. මීට පෙර ද සංචාරක කර්මාන්තය නඟා සිටුවීම කෙරෙහි උදම් ඇනූ බොහෝ අයගේ සැලසුම් උපන් ගෙයිම මියගොස් ඇතැයි ඇමතිතුමාට සිහිපත් කිරීමට කැමතිය.

ඒ සියල්ල මාධ්‍ය සංදර්ශන පමණකැයි කීවොත් වැරදි නැත. බැලූ බැල්මට සංචාරක කර්මාන්තයේ දියුණුවට යමක් සිදුවී ඇති ද යන්න විවාදයට තුඩු දෙන්නකි.

‘යර්ස්’ ‘කම්’ කියූ පමණින් ම සංචාරක මාර්ගෝපදේශකයෙකු බිහිවිය නොහැකිය. මේ බිමේ සාඩම්බර අතීතය පිළිබඳව දැනුමෙන් සන්නද්ධ මාර්ගෝපදේශකයින් නිර්මාණය කිරීමේ වගකීම් ද ඔබ ඉදිරියේ ඇති අභියෝගයකි. කෙසේ වෙතත් මාර්ගෝපදේශකයින් 40 දෙනෙකු පුහුණු කිරීමේ කටයුතු තව නොබෝ දිනකින් අරඹන බව අසන්නට ලැබීම ද සතුටකි. තවත් බොහෝ දේ ගැන සියුම්ව සිතිය යුතුව ඇත.

අපේ කඩ පිලේ ඉන්න කොල්ලො කුරුට්ටන්ගේ කියමන් සංචාරක ඇමතිතුමන් හට මතක් කර දෙන්නට කැමතිය. “විසිල් විතරයි. බල්ටි නෑ” මෙදා පොටේ විසිල් එක්ක බල්ටිත් බලාපොරොත්තු වන බව රජරට සංදේශ මඟින් අවධාරණය කිරීමට කැමතිය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]