මුද්‍රණය සඳහා

 
මං දේශපාලනයෙන් හම්බ කරගත්තේ නෑ

මං දේශපාලනයෙන් හම්බ කරගත්තේ නෑ

ලක්ෂ්මන් වේඬරුව

එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‍ෂක - කුරුණෑගල දිස්ත්‍රික්කය

එළැඹෙන පළාත් සභා මැතිවරණය, දේශපාලන ඉතිහාසය සහ වයඹ සංවර්ධනය ඇතුළු දේ පිළිබඳ එජනිස කුරුණෑගල දිස්ත්‍රික් අපේක්‍ෂක  ලක්ෂ්මන් වේඬරුව සමඟ කළ සාකච්ඡාවකි.

ඔබ පළාත් දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයෙක් වශයෙන් ජනතාවට දෙන පණිවිඩය කුමක්ද?

මා පාසල් සිසුවෙන් වශයෙන් මලියදේවයේ විදු මැණියන්ගෙන් ලද විනයත් ශික්‍ෂණයත් තුළ පිරිසිදු දේශපාලනයක් මේ වන විට වසර 20ක සිට සිදු කර තිබෙනවා. පාසලේ හොඳ නමත් මගේ හොඳ නමත් සැමදා රැකගෙන ඉදිරියටම ගමන් කරනවා. නාගරික මන්ත්‍රීවරයෙක් වශයෙන්, මහනගර සභා විපක්‍ෂ නායකයා වශයෙන් කටයුතු කළ මා පළාත් සභා මන්ත්‍රීවරයෙක් වශයෙනුත් කිසිදු අකටයුතුකම් සිදුකර නෑ. නගර සභාව සතු කඩකාමරයක්වත් මම ගත්තෙ නෑ. කොන්ත්‍රාත් කරුවන්ගෙන් කොමිස් අරගෙන නෑ. වංචා දූෂණවලට අසුවෙලා නෑ. ඒ සඳහා කිසිදු ඉඩක් ලබා දෙන්නෙත් නෑ. එසේ කරන අයත් මා ළඟ නෑ. පිරිසිදු අවංක මහජන සේවාවක් කරන නිසා මා වටා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පංච මහා බලවේගයම සිටිනවා. එය මට ලොකු අඩම්බරයක්, ශක්තියක් බව කියන්න ඕන.

වයඹ පළාතක් ලෙස සංවර්ධනයට දායකත්වය ලබා දෙන්නේ කෙසේද?

සත්කෝරළය යනු, ස්වභාවික සම්පත්වලින් පෝෂණය වූ ප්‍රදේශයක්, වැව් කුඹුරු ගහ කොළ ස්වාභාවිකව පිහිටි විශාල ගල් පර්වත මෙන්ම පෞරාණික වශයෙන්ද වැදගත් රාජධානි හතරක් තිබෙනවා. මධ්‍යම රජයෙන් ලබා දෙනු ලබන ප්‍රතිපාදන මත රඳා පවතින්නේ නැතුව වයඹට ආවේනික වූ ස්වභාවික සම්පත් සහ මුහුදු තීරය උපයෝගී කොට ඒවායින් ආදායම් මාර්ග උත්පාදනය කිරීමට මා බලාපොරොත්තු වෙනවා. දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, පඬුවස්නුවර, රාජධානි කේන්ද්‍ර කොටගෙන ඇති ඓතිහාසික ස්ථාන සංවර්ධනය කොට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් සඳහා ආකාර්ෂනීය වටපිටාවක් සහිතව සංචාරකයින්ගේ ප්‍රයෝජනය සඳහා සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා.

එයට සමගාමීව දේශීය වෛද්‍යවරුන්ගේ සේවාව ලබා ගනිමින් ඖෂධ උයන් ඇති කිරීමත් ඒ මඟින් පාරම්පරික වෛද්‍ය සේවාවන් ලබා දීමට හැකිවන අයුරු මනා කලමණාකාරීත්වයක් තුළින් දේශීය මෙන්ම විදේශීය ආදායම් ලබා ගැනීමේ ක්‍රමෝපායන් ආරම්භ කිරීමට අපේක්‍ෂා කරමි. තවද ගඩොල් නිෂ්පාදනය, මැටි භාණ්ඩ, කොහු ආශ්‍රීත , නිෂ්පාදන හා ක්‍රොන්ක්‍රීට් ආශි‍්‍රත පෙර නිමි භාණ්ඩ නිෂ්පාදනය සඳහා විශේෂ අවධානයක් යොමු කොට ඒ සඳහා පුහුණුවූ නුපුහුණු, ශ්‍රමිකයින්ට, අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමටද අපේක්‍ෂා කරනවා. ඒ මඟින් දැනට සිදු කරන වැඩ සංවර්ධන වැඩ පිළිවෙලකට සෘජු දායකත්වයක් ලබා දෙන අතර විවිධ ස්වයං රැකියා අවස්ථා සලසා ජනතාවගේ ආදායම් තත්ත්වය වර්ධනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

ඉදිරියේදී සියලුම ස්වාභාවික සම්පත් උපයෝගී කරගෙන වයඹට ආවේනික නිෂ්පාදන ක්‍රියාවලි සඳහා ජනතාවට අවශ්‍ය පුහුණුව ලබදී එහි ප්‍රතිලාභ අපේ පළාතට ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සියලු දෙනාගේ අවශ්‍යතාවයන් සඳහා මැදිහත්වී පාසල් දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීමට අමතරව සාරධර්ම තුළින් මෙම දරුවන් තව තවත් දියුණු කිරීමට අවශ්‍ය ක්‍රමෝපායන් යෙදීමට මා අපේක්‍ෂා කරනවා.

ඒ සඳහා ආගමික නායකයින්ගේ පූර්ණ දායකත්වය ලබා ගැනීමට මා අදහස් කරන අතර, දහම් පාසල් අධ්‍යාපන මෙම පාසල් දරුවන් සඳහා අනිවාර්ය කිරීමට කටයුතු කරනවා. දහම් පාසල්වල ස්වෙච්ඡාවෙන් අධ්‍යාපනය කරන ගුරුවර ගුරුවරියන්ට විශේෂ වැඩ පිළිවෙළක් මඟින් ඔවුන්ගේ සේවය ඇගයීමට කටයුතු කිරීමට අදහස් කර සිටිනවා.

කෙටියෙන් සඳහන් කළොත් තමන්ගේ හැකියාව, නිපුනතාවය හා වෘත්තීයන් හා තාක්‍ෂණය තුළින් යමක් කිරීමට බලාපොරොත්තු වන සෑම පුද්ගලයෙකුගේම උපරිම දායකත්වය ලබාගැනීමට මා අදහස් කර සිටිනවා.

ඔබ පැවසුුවා ඔබගේ දේශපාලන ඉතිහාසය අවු. 20ක් පමණ වන බව, මෙම කාලය තුළ ඉටුකරන ලද සේවය පිළිබඳ සෑහීමකට පත් වෙනවාද?

මා දේශපාලනයට පිවිසියේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස 1993 වර්ෂයේදීයි. නාගරික මන්ත්‍රීවරයෙකු ලෙසත්, පසුව විපක්‍ෂ නායකයෙකු ලෙසත් කටයුතු කළා. මා පසු බෑමකින් තොරව මට හැකි සෑම උපකාරයක්ම ජනතාවට ලබා දී තිබෙනවා. නගරයේ සංවර්ධන කටයුතුවලදීත්, නාගරික ජනතාවගේ පුද්ගලික අවශ්‍යතාවලදීත් මට හැකි අයුරින් ජනතාවට සේවය කර තිබෙනවා. නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස මට ලැබෙන වරප්‍රසාද මා පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා යොදවාගෙන නෑ. මා පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතුකරද්දීත්, මාගේ ප්‍රතිපත්තිවලට කිසිදු වෙනසක් සිදු වූයේ නැහැ. රජයෙන් මා වෙත වෙන් කරනු ලබන ප්‍රතිපාදන හුදෙක්ම, ජනතාවගේ අවශ්‍යතාවයන් වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා යොදා ඇති බව සඳහන් කරන්නේ මහත් සතුටින්.

එහෙත් මට ලැබුණු ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවුන නිසා, බොහෝවිට බලාපොරොත්තු වන ආකාරයට ජනතාවගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට නොහැකි වුනත්, ව්‍යාපාරිකයෙකු ලෙස මාගේ පුද්ගලීක ධනයෙන් ජනතාවගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ඇති බව සඳහන් කරන්නේ නිහමානිවයි.

ඔබ ජේ්‍යෂ්ඨ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති නිසා පළාත් සභා ක්‍රමය පිළිබඳ මනා අවබෝධයක් ඇතැයි අදහස් කරන අතර, මෙවර ඔබට ඇමති තනතුරක් ලැබුනොත් ඔබ එය පිළිගන්නවාද?

මා මුලදී ඔබට සඳහන් කළා, බලාපොරොත්තුවන අපේක්ෂාවන් හා සීමාවන් සම්පූර්ණයෙන් නිම කිරීමට නොහැකි වූ බව. ඇමති තනතුරක් ලැබුණොත් මෙම අතපසු වුණු කාර්යයන් ඉටුකිරීමට මා අදහස් කර සිටිනවා.

උදාහරණයක් වශයෙන් විවිධ හැකියාවක් ඇති සම්පත් දායකයන් වයඹ පළාතේ මට නිතරම හමුවෙනවා. එම අයගේ දක්‍ෂතාවයන් තවදුරටත් වර්ධනය කර රටට වැඩදායී පුද්ගලයින් බවට පත් කිරීමට මා අපෙක්ෂා කරනවා.

සාමාජික වශයෙන් මා විදේශයන්හි වෙසෙන හිතවතුන් සමඟ නිතරම සම්බන්ධතාවයන් පවතින අතර, ඔවුන් බොහොමයක් මාගේ පාසල් මිත්‍රයන් වෙනවා. ඒ අයගේ උපකාරයෙන් වයඹ ජනතාවට විදේශීය රැකියා ලබාදීමේ ක්‍රමෝපායක් සකස් කිරීමට මා බලාපොරොත්තු වෙනවා. උදාහරණ වශයෙන් විදේශයන්හි වෙසෙන වෘත්තිකයන් පවත්වාගෙන යනු ලබන සංවිධාන සමඟ සෘජු සම්බන්ධතාවයක් ඇති කර ගැනීමටත්, ඒ මගින් රැකියා අවස්ථාවන් පිළිබඳ විස්තර ලබාගෙන, එයට ගැළපෙන වෘත්තීකයන් පුහුණු කොට, විදේශයන් වෙත යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.

සත්කෝරලය – බත්කෝරළය යනුවෙන් පෙර කල සිට සඳහන් කර තිබුණි. ඒ අනුව කෘෂිකාර්මික සංවර්ධනයක් සඳහා ඔබ ඉටුකිරීමට බලාපොරොත්තු වන කාර්යභාරය කුමක්ද?

වයඹ පළාතේ වැව් 400කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව කුඩා ප්‍රමාණයේ අමුණුත් තියෙනවා. මෙම වැව් සහ අමුණු පිළිබඳ පරීක්ෂා කොට ජනතාවට ප්‍රයෝජනයට ගත හැකි පරිදි ජලය රැස්කර තබා ගැනීමේ ස්ථිර වැඩ පිළිවෙළක් සකස් කිරීමට බලාපොරොත්තු වන අතර, ඒ මඟින් ගොවි නිෂ්පාදනයන් වැඩි කිරීමටත්, ඒ ආශ්‍රීත සත්ත්ව පාලනය තුළින්, කිරි නිෂ්පාදනය, විසිතුරු පැළ, පලතුරු හා කාබනික පොහොර නිෂ්පාදනය කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වන අතර, මේ සඳහා අවශ්‍ය සම්පත් දායකයින් දැනටමත් මා සතුව ඇති බැවින් ඔවුන්ගේ උපරිම සේවය ලබාගැනීමටත්, භූමිය උපරිම අයුරින් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනීමටත් මේ අනුව බලාපොරොත්තු වෙනවා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]