සංහිඳියාවේ සැනසුම

සංහිඳියාවේ සැනසුම

තිස් වසරක් පුරා ශශ්‍රී ලංකාවට ශාපයක්ව පැවති කුරිරු යුද්ධය මහින්ද රාජපක්‍ෂ රජය විසින් 2009 මැයි 19 වැනිදා අවසන් කෙරිණ. එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් ආරම්භ කරන ලද ඊළාම් යුද්ධයට එරෙහිව ශශ්‍රී ලංකා රජයේ ආරක්‍ෂක හමුදාව විසින් ක්‍රියාත්මක කළ මෙම මානුෂීය මෙහෙයුම සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාව විසින් නඟනු ලැබූ විවිධ චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කරනු ලැබූ උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව එහි සභාපති, හිටපු නීතිපතිවරයකු වන සී. ආර්. ද සිල්වා මහතා විසින් 2011 නොවැම්බර් මස 20 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත බාරදෙනු ලැබීය.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව හෙවත් සංහිඳියා වාර්තාව ආරක්‍ෂක අංශවල තොරතුරු පමණක් නො ව පුරවැසියන්ගේ මෙන් ම ජාත්‍යන්තර සංවිධානවලින් නඟන ලද කරුණු ගැන ද අවධානය යොමුකරමින් සකස් කළ වාර්තාවකි. මේ වාර්තාව මඟින් යුද සමයේදී වැරදුන තැන් සොයා බැලීමත්, බිඳුණු හදවත් සුවපත් කිරීමට ඉදිරිපත් කළ යුතු යෝජනා හා ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීම සඳහා ගත යුතු නිර්දේශ පිළිබඳත් අවධානය යොමුකොට තිබේ. ඒ අනුව එම වාර්තාව හා නිර්දේශ ඉදිරිපත් කර තිබෙන්නේ දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගොස් ජනතාවගේ සාක්‍ෂි විමසීමෙන් හා අදාළ සියලු අංශවලින් විධිමත් ආකාරයට කරුණු විමසීමෙන් අනතුරුවය.

එබැවින් මෙම සංහිඳියා කොමිසම් වාර්තාව මෙරටට එල්ල කළ වැරදි ප්‍රතිරූපය හා වැරැදි මත දුරැලීමට පශ්චාත් යුද සමයේදී ඉදිරිපත් වූ හොඳම වාර්තාව ලෙස ජාත්‍යන්තරය ද පිළිගෙන ඇති අතර රජය එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාවට නංවා ඇත.

කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලදුව 2011 දෙසැම්බර් 17 වැනි දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී. එම කොමිෂන් සභාව විසින් නිර්දේශ 285 ක් ඉදිරිපත් කර තිබූ අතර ඒ යටතේ උප නිර්දේශ විශාල සංඛ්‍යාවක් ඇතුළත් කර තිබිණි. ඒවා පහත පරිදි ප්‍රධාන ගණයන් හතරක් යටතේ වර්ග කෙරිණි.

01. ජාතික ප්‍රතිපත්තියට අදාළ නිර්දේශ

02. ගැටුමේ අවසන් අදියරට සම්බන්ධ නිර්දේශ

03. මානව හිමිකම් හා ජාතික ආරක්‍ෂාව පිළිබඳ නිර්දේශ

04. නැවත පදිංචි කරවීම හා සංවර්ධනයට අදාළ නිර්දේශ

ඒ අනුව සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ම රජය විසින් ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන ලද අතර එමඟින් එහි ප්‍රධාන නිර්දේශ 91 ක් රාජ්‍ය ආයතන 22 ක් හරහා ක්‍රියාවට නැංවීමට අදාළ මුල් අදියරේ දී කටයුතු කරන ලදී.

මෙසේ ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තරය නිරන්තරයෙන් කියා සිටියේ මෙහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම කඩිනම් කරන ලෙසත්, එහි වූ යම් අඩුපාඩුවක් වෙතොත් එය මඟහරවමින් නව නිර්දේශයන් ඇතුළත් කරන ලෙසත් ය.

ඒ අනුව කොමිසම් වාර්තාවේ තවත් නිර්දේශ 53 ක් ජාතික ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ යෝජනාව පරිදි අමාත්‍ය මණ්ඩලය පසුගියදා තීරණය කළේය. එම අමාත්‍ය මණ්ඩල තීරණ අනුව අන්තර්ජාතික මානුෂවාදී නීතිමය ගැටලු, මානව හිමිකම්, රැඳවියන්ට සැලකීම, අභ්‍යන්තර ව අවතැන් වූවන්, උතුරු හා නැඟෙනහිර මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් වූ ගැටලු ඇතුළු නිර්දේශ 53 ක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම යටතට අන්තර්ගත කරන ලද්දේ මෙම ගැටලුවලට අදාළ විසඳුම් කඩිනමින් ලබාදීමේ අරමුණින් යුක්තවයි.

සංහිඳියා කොමිසමේ නිර්දේශ පදනම් කොට ගත් ජාතික ක්‍රියාකාරී සැලැස්ම කඩිනමින් ක්‍රියාවට නංවන ලෙසත්, ඇමැති මණ්ඩල අනුමැතිය ලැබුණු නිර්දේශ 53 ද වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් එහි සභාපති, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

මේ වන විට කොමිසමේ සෑම නිර්දේශයක් පිළිබඳම ඉතා හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සමඟ ගැඹුරින් සාකච්ඡා කර ක්‍රියාකාරකම් හඳුනා ගැනීම සිදුකර ඇති අතර සෑම ක්‍රියාකාරකමක් සඳහා ම සනාථ කිරීමේ දර්ශක මෙන්ම කාල නිර්ණයන් ද සකසා ඇත.

එසේම කොමිෂන් සභා වාර්තාවේ සඳහන් නොවන එහෙත් සහජීවනය උදෙසා රජය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට ප්‍රමුඛතාව දී කටයුතු කරන ලෙසත් ජනාධිපති ලේකම්වරයා මෙහි දී සියලු අමාත්‍යාංශ ක්‍රියාකාරීන්ට උපදෙස් ලබා දී ඇත. වාර්තාවේ නිර්දේශ අනුව එක් එක් අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කළ යුතු කාර්යභාරය ජනාධිපතිතුමා ඒ ඒ ඇමැතිවරුන් වෙත කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී ලිඛිතව භාර දී තිබේ. වාර්තාවට අනුව රජය විසින් ක්‍රියාත්මක කළ යුතු කාර්යයන්ට අමතරව ඒ අමාත්‍යාංශ වෙත වගකීම් පැවරී ඇති අතර උදාහරණයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වතු ආශ්‍රිත ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීම පැවරී තිබීම පෙන්වා දිය හැකිය.

එමෙන්ම උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙරට සිටින සියලු තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ද දැනුවත් කර තිබෙන අතර ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් කොට වෙබ් අඩවියක් ඹඹඹ.තතපජචජබඪධද.ඨධම.තඬ ද පසුගියදා එළිදක්වන ලදී.

කෙසේ වුව ද මේ වන විට ඒ ඒ අමාත්‍යාංශවලට අදාළ කටයුතු ආරම්භ කර ඇත. නැවත පදිංචි කිරීමෙන් අනතුරුව අභ්‍යන්තරව අවතැන් වූ ජනතාවට අවශ්‍ය නිවාස පහසුකම්, යටිතල පහසුකම් මෙන්ම ජීවනෝපාය මාර්ගයන් නැංවීමේ කටයුතු සපුරාලීමට රජය පියවර ගත් අතර ඒ සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මෙන්ම පෞද්ගලික මට්ටමින් ද සහය ලබාගෙන ඇත. ආරක්‍ෂක අංශයන් ද ඒ සඳහා මැදිහත් කර ගනිමින් නිවාස තැනීම, අලුත්වැඩියා කිරීම, පාරවල් සකස් කිරීම ආදී වැඩසටහන් දියත් කර ඇත. ඉන්දියානු රජයේ ආධාර යටතේ මේ වන විටත් සාර්ථකව ක්‍රියාත්මක කරමින් තිබෙන උතුරේ නිවාස 50000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ද මෙහිදී සටහන් කිරීම වැදගත් වේ.

එසේම යුද්ධය හේතුවෙන් අවතැන්ව හා එල්. ටී. ටී. ඊ. ය විසින් කප්පම් ගැනීම්, දරුවන් යුද්ධය සඳහා පැහැර ගැනීම් ආදී තර්ජන හේතුවෙන් තම ගම්බිම් අතහැර ගිය ජනතාවගේ ඉඩම් පළමු අයිතිකරුවන්ට නිසි පරිදි ලබාදීම සඳහා අවශ්‍ය නීති සංශෝධන ද රජය මගින් ගනු ලැබ ඇති අතර ඒ අයගේ ජීවනෝපාය මාර්ගයන් සඳහා සහය වීමට ද කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

එසේම සංහිඳියාව උදෙසා අවශ්‍ය රාජ්‍ය සේවා භාෂා ප්‍රතිපත්තිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. වාර්ගික වශයෙන් සමාජය ඒකාබද්ධ කිරීමේ දී ද්වි භාෂා අධ්‍යයනය වඩා වැදගත් වන බැවින් ශශ්‍රී ලංකාවේ සියලුම වැසියනට තම මව් භාෂාව ඇසුරෙන් අවශ්‍ය කටයුතු කරගැනීම සඳහා රජයේ නිලධාරීන්ගේ දෙවැනි භාෂාව වර්ධනය කිරීමට රජය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව දෙවැනි බස ඉගැන්වීම සඳහා රාජ්‍ය භාෂා හා ඒකාබද්ධතා අමාත්‍යාංශය කඩිනම් පියවර රැසක් ගෙන තිබේ. 2009 ජූලි මාසයේ සිට රාජ්‍ය සේවකයින්ට ද්වි භාෂාව ඉගැන්වීම සඳහා පියවර ගෙන තිබෙන අතර 2007 න් පසු රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදුකරන විට දෙවැනි බස ඉගෙනීම අනිවාර්ය වේ.

එමෙන්ම මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලධර්ම උල්ලංඝනය කිරීම පිළිබඳව නිසි තොරතුරු ලබා ගනිමින් ඊට අනුකූලව එල්. ටී ටී. ඊ. සාමාජිකයින් සිදු කළ අපරාධවල බරපතළ තත්ත්වයන්ට දඬුවම් නියම කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇත. රැඳවියන්ට ඒ අනුව කටයුතු කිරීම සිදුකරයි. එසේම එල්. ටී. ටී. ඊ. සාමාජිකයින් පුනරුත්ථාපනය කොට ජීවන තත්ත්වයන් නඟාසිටුවීමට හා ජීවනෝපායන් සකස් කර දී ඔවුන් නිදහස් කිරීම ද පියවර වශයෙන් සිදුකෙරෙමින් පවතී.

ඒ ආදී වශයෙන් විමසන විට ශ්‍රී ලංකා සංහිඳියා කොමිසම මානව හිමිකම් ගැටලු හා ප්‍රතිසන්ධාන කටයුතුවල විසඳුම් වේගවත් කර ඇති බව මොනවට පැහැදිලි වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා