මුද්‍රණය සඳහා

 
රාජ්‍ය අංශයට සලකන ආසියාවේ හොඳම රට ශ්‍රී ලංකාව

රාජ්‍ය අංශයට සලකන ආසියාවේ හොඳම රට ශ්‍රී ලංකාව

කිසිම රාජ්‍ය  ආයතනයක් ඈවර කළේ විකුණුවේනෑ

වසර නවයට නව රැකියා ලක්ෂ 8½ක්

එදා රැකියා ලක්ෂ 6යි; අද රැකියා ලක්ෂ 14½යි

එජාපය රැකියා ලක්ෂ 2ක් කපා හැරියා

රාජ්‍ය අංශය වහන්න සැලැසුම් හැදුවා

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව විසින් ගත වූ අවුරුදු නවයක කාලසීමාව ඇතුළත අලුතින් ම ලක්‍ෂ අටහමාරක පිරිසකට රජයේ රැකියා ලබා දී තිබේ.

වසර 2004 දී ලක්‍ෂ හයක් තරම් වූ රාජ්‍ය සේවක සංඛ්‍යාව මේ වනවිට දෙගුණයකටත් වඩා ඉහළ දමමින් රජයේ සේවක සංඛ්‍යාව ලක්‍ෂ දාහතර හමාරක් බවට පත් කළේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජය යැයි විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා “දිනමිණ” ට ප්‍රකාශ කෙළේ ය. රැකියා ඉල්ලා උද්ඝෝෂණ පිකටිං කරන උපාධිධාරීන් සිටි රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දීමට ඉඩ නොතබා මේ වන විට උපාධිධාරී සියලු දෙනාටම රජයේ රැකියා ලබාදෙන ආසියාවේ ප්‍රමුඛ රාජ්‍ය බවට ලංකාව පත් වී ඇතැයි ද ඇමැතිවරයා අනාවරණය කෙළේ ය.

වසර 2001 – 2003 එක්සත් ජාතික පක්‍ෂ පාලන සමයේ රාජ්‍ය සේව ලක්‍ෂ අටක සිට ලකුණු හය දක්වා අඩු කළ අයුරු හා, ලංකා ඉතිහාසයේ මුල් වරට රජයේ රැකියා ලබා නොදෙන බවට ඔවුන් චක්‍රලේ්ඛ නිකුත් කළ බව සිහිපත් කළ ඇමැතිවරයා එසේ නොකොට රාජ්‍ය සේවකයාගේ ගෞරවයත්, අභිමානයත් රැක ගනිමින් රාජ්‍ය සේවක වැටුප, ජීවන වියදම් දීමනා සහ විශේෂයෙන් රැකියාවේ ස්ථිරභාවය ඇති කළේ වත්මන් ආණ්ඩුව බව පැහැදිලි කෙළේ ය.

මහජන බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව වැනි රාජ්‍ය අංශ බැංකු පෞද්ගලීකරණය නොකොට, ඒවා ජාතියේ මතු පරපුරට උරුම කර දුන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන උදාර දැක්ම බව ද ඇමැතිවරයා සිහිපත් කෙළේ ය.

සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වසර 2006 දී ඉහළ දැමූ රජය විශ්‍රාමිකයින් ගේ විශ්‍රාම වැටුප් හා ජීවන වියදම් දීමනා පවා වැඩි කළ බව කී සියඹලාපිටිය මහතා, තිස් වසරක කුරිරු මහා ම්ලේච්ඡ යුද්්ධයක් නිමා කිරීමේ දැවැන්ත අභියෝගයට අවශ්‍ය මුදල් සොයා ගන්නා අතර ඒවා එසේ සිදු කිරීම ලොව මවිත වන කරුණු ලෙස පෙන්වා දුන්නේ ය.

රාජ්‍ය සේවකයින්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව, දැනුම, පුහුණුව හා සේවාවල ගුණාත්මකභාවය උසස් කරලීම උදෙසා, දෙස් විදෙස් ශිෂ්‍යත්ව වැඩිකොට හැකිතරම් වැඩි ජනතා සේවාවක් සැලැසීමට සේවක සිත් සතන් සැනසුවේ වත්මන් ආණ්ඩුව බව ද ඇමැතිවරයා කීය. අද වන විට විරැකියාවෙන් පෙළෙන එකම උපාධිධාරියකුවත් රටේ නොමැති තරමට විශ්වවිද්‍යාලවලින් පිටවන දරුවනට රැකියා ලබාදී ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේ සතුටිනි.

වසර 2004 දී උපාධිධාරීන් 45000ක් බඳවා ගත්තා. වසර 2012 / 13 කාලයේ දී තවත් 55000 ක් දෙනා රාජ්‍ය සේවයට උපාධිධාරීහු බඳවා ගැණිනි.

මේ අන්දමට රාජ්‍ය සේවයට අලුතින් එක් වූ උපාධිධාරීහු ගණන ම ලක්‍ෂය ඉක්මවති. මධ්‍යම රජයේ සේවයට මෙන්ම පළාත් රාජ්‍ය සේවයට ද අතිවිශාල පිරිසක් එකවර බඳවා ගත් ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බව සබරගමුව පළාත් මහ ඇමැති මහීපාල හේරත් මහතා සඳහන් කෙළේ ය.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]