මුද්‍රණය සඳහා

 
වසර හයක් තිස්සේ ශත ගණන් වලින් ලක්ෂ 80ක් වංචා කරලා

වසර හයක් තිස්සේ ශත ගණන් වලින් ලක්ෂ 80ක් වංචා කරලා

සහකාර කළමනාකරුට එරෙහි  වැඩිදුර පරීක්ෂණ

දිවයිනේ මහජන බැංකු ශාඛාවල තැන්පතු හා විවිධ ආදායම් ලෙසට මහජන බැංකුව විසින් ලබා දෙන මුදලින් කොටසක් තම ගිණුමට බැරකර ගනිමින් රුපියල් ලක්‍ෂ 80කට වඩා වංචා කර ගෙන ඇති බණ්ඩාරවෙල මහජන බැංකු ශාඛාවේ සහකාර කළමනාකරුට එරෙහිව වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීමට කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

පොලිසිය පවසන අන්දමට සිද්ධිය මෙසේ ය. මහජන බැංකුව විසින් මුදල් තැන්පත් කරුවන්ට හා විවිධ ආදායම් වෙනුවෙන් පොලි මුදල් ලෙසට ගෙවන රුපියල් ශත මුදල් වලින් ශත ප්‍රමාණය ඉතාමත් සූක්ෂමව මෙම සහකාර කළමනාකරුවන් විසින් තම ගිණුමට බැරකර ගෙන ඇත. මෙසේ තමන්ට ලැබිය යුතු ශත ගණනට අදාළ මුදල් ප්‍රමාණය නොලැබීම ගැන සැක සිති බදුල්ල ප්‍රාදේශීය මහජන බැංකු කාර්යාලය සිදුකර ඇති අභ්‍යන්තර පරීක්‍ෂණයේ දී මෙම වංචාව හෙළිකර ගෙන ඇත.

වසර හයක් තිස්සේ සිදුකර ඇති මේ මුදල් වංචාව පිළිබඳ බදුල්ල මහජන බැංකු ප්‍රාදේශීය කාර්යාලය විසින් බණ්ඩාරවෙල පොලිස් අධිකාරීවරයාට පැමිණිලි කර ඇත.

ඒ අනුව සිදුකර ඇති මූලික පරීක්‍ෂණවලදී මෙම සැකකාර සහකාර කළමනාකාරවරයා බණ්ඩාරවෙල මහජන බැංකු ශාඛාවේ ගිණුම් පරීක්‍ෂක ලෙසින් කටයුතු කරමින් සිටියදී මෙසේ මුදල් වංචා කර ඇති අතර දැනට කරන ලද පරීක්‍ෂණවලදී රුපියල් ලක්‍ෂ 80 කට වඩා වංචා කර ඇති බවට අනාවරණය වීම නිසා වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීමට කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැවරු බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී රෝෂාන් විජේසිංහ මහතා පවසයි.

මේ වන විටත් මහජන බැංකුව විසින් ද වෙනම පරීක්‍ෂණයක් පවත්වමින් සිටින අතර අදාළ මුදල් වංචාවට සම්බන්ධ බවට සැකකරන සහකාර කළමණාකරුගේ වැඩ තහනමට ලක්කර බණ්ඩාරවෙල මහජන බැංකු පරිශ්‍රයට ඇතුළු වීම ද තහනම් කර ඇතැයි ද එහි සිටින කළමනාකරු ඇතුළු බැංකු සේවකයන් කිහිප දෙනෙකු ද ස්ථාන මාරුකර ඇත. මෙම ස්ථාන මාරුවීමත් සමඟ බැංකු කළමනාකරු විශ්‍රාම ලබා ගැනීම නිසා වැලිමඩ මහජන බැංකු ශාඛාවේ කළමනාකාරව සිටි එල්. එච්. චන්ද්‍රසිරි මහතා බණ්ඩාරවෙල මහජන බැංකුවට මාරු කරන ලද බව මහජන බැකුවේ බදුල්ල ප්‍රාදේශීය කාර්යාලයෙන් අසන්නට ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]